Wednesday, January 18, 2017

කන්දකැටිය තරුණයා ඝාතනය -පොලිසියේ 6ක්‌ ගස්‌


21:27 10/01/2017
2014 වසරේ මැයි මස හත්වැනිදා හෝ ආසන්න දිනයකදී මීගහකිවුල කොස්ෆාම්, අගුරුකඩුව ප්‍රදේශයේ පදිංචි පෙරුම්හේවගේ සඳුන් මාලිංග නමැති අයට පහරදී මරණය සිදුකිරීම හා තවත් සිව් (4) දෙනකුට පහරදීමේ චෝදනාවට වැරදිකරුවන් වූ කන්දකැටිය පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරින් පස්දෙනෙකු ඇතුළු හයදෙනකුට ඊයේ (09) දින බදුල්ල මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා මරණීය දණ්ඩනය නියම කළේය.

මෙ‍සේ මරණීය දණ්ඩනය නියම වූයේ කන්දකැටිය පොලිසියේ රාජකාරියේ නියුතු උප පොලිස් පරීක්ෂක ආර්. එම්. ජී. සෝමරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන පී. ඩී. පත්මකුමාර ගමගේ, එස්. එම්. ආර්. පුෂ්පකුමාර, බී. එම්. ග්‍රේෂන් අ‍ෙබ්රත්න සහ සිවිල් ආරක්ෂක එස්. එම්. ජයසුන්දර, පොලිස් සහයක ඩී. එම්. විජේරත්න යන අයටය.

2014 මැයි මස හත්වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී කන්දකැටිය බෝගහලන්ද ප්‍රදේශයේදී තරුණයින් පස්දෙනකු නිදන් හෑරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන පහර දී එක් අයකුගේ මරණය සිදුකිරීම යන චෝදනාව යටතේ මෙම නඩුව නීතිපතිවරයා විසින් කන්දකැටිය පොලිසියේ එම නිලධාරින්ට එරෙහිව පවරා තිබිණ.‍

පිටු පනස් දෙකකින් සමන්විත නඩු තීන්දුවේ සංක්ෂිප්ත වාර්තාව ප්‍රකාශයට පත්කරමින් බදුල්ල මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා පැවසුවේ මෙම නඩුවේ මරණකරු ඇතුළුව පුද්ගලයින් හතරදෙනකු ත්‍රිරෝද රථයක් මිලදී ගැනීම සඳහා කන්දකැටිය බෝගහලන්ද ප්‍රදේශයට ගොස් සිටියදී එහි පැමිණ ඇති කන්දකැටිය පොලිසියේ චුදිත නිලධාරින් පැමිණිලිකරුවන් නිදන් හාරමින් සිටි බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන පහර දුන් බවට පැමිණිල්ලේ සාක්ෂිවලින් අනාවරණය වී ඇති බවත් පළමු සැකකරු පහරදෙනවිට අනෙකුත් චුදිතයින් එම පහරදීම වැළැක්වීමට කිසිදු උත්සාහයක් දරා නොමැති බවට එම සාක්ෂිවලින් අනාවරණය වන්නේ යැයිද කීය.

නිදන් හෑරීමට අදාළ උපකරණ සොයා ගැනීමට හෝ නිදන් හෑරූ බවට ඔප්පු කිරීමට විත්තිය අසමත් වී ඇතැයි සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කියා සිටි විනිසුරුවරයා පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයාගේ වාර්තාව මගින්ද මෙම ප්‍රදේශය පුරාවිද්‍යා භූමියක් ලෙස සනාථ කොට නොමැති බැවින් චුදිතයින් නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් වීම නිසා මෙම පහරදීම් සිදුකොට ඇති බවට ඔප්පු වන්නේ යැයිද ප්‍රකාශ කළහ.

මරණකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇති බදුල්ල අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාවට අනුව මුගුරකින් වැනි යමකින් පහරදීම නිසා හෘදයවස්තුව පෙනහැල්ල ඇතුළුව ශරීර අභ්‍යන්තරයේ තුවාල අටක් පමණ සිදුවීම නිසා අභ්‍යන්තර ලේ වහනයවීමෙන් මරණය සිදුවී ඇති බවට නිගමනය කොට ඇති බැවින් මිනීමැරීමේ චෝදනාවට විත්තිකරුවන් වරදකරුවන් බවට පත්වන්නේ යැයිද ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 294 වන වගන්තියට අනුව චුදිතයන් වූ පොලිස් නිලධාරින් සියලුදෙනාටම මිනීමැරීමේ චෝදනාව ඇතුළුව සියලූම චෝදනාවන්ට වරදකරුවන් කරන බවට සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් පැවසූ බදුල්ල මහාධිකරණ විනිසුරුවරයා නිදහසට තමන්ට කීමට යමක් ඇත්දැයි චුදිත පොලිස් නිලධාරින් හයදෙනාගෙන් වෙන් වෙන් වශයෙන් විමසා සිටියේය.

එහිදී චුදිතයින් සියලුම දෙනා ප්‍රකාශ කළේ සියලුම චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් වන බවයි. ඉන්පසුව විත්තිකරුවන් හයදෙනාට මරණීය දණ්ඩනය නියම කළ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා මීට අමතරව චුදිතයින්ට එක් අයකුට රුපියල් 5000 බැගින් දඩ මුදලක්ද නියම කළ අතර එය නොගෙවන්නේ නම් තවත් මාස හයක සිර දඬුවමක්ද නියම කළේය.

මෙම නඩුවේ පැමිණිල්ල රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා මෙහෙය වූ අතර තීන්දුව ප්‍රකාශයට පත්කරන අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ අකිලා දල්පදාදු මෙනෙවිය අධිකරණය හමුවේ පෙනී සිටියාය.

විත්තිකාර පොලිස් නිලධාරින් වෙනුවෙන් නීතිඥ සුජීව ජයසිංහ, සුජීවන ද සිල්වා, නලින් වීරසිංහ, විමල් විජේතුංග යන අය පෙනී සිටියහ.

-----------------------------Divaina News ------------
මනුෂ්‍ය ඝාතනයක්‌ සම්බන්ධයෙන් වරදකරුවන් වූ පොලිස්‌ නිලධාරීන් හය දෙනකුට ඌව පළාත්බද මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා විසින් ඊයේ (09 දා) මරණීය දණ්‌ඩනය නියම කර තිබේ.

බදුල්ල කන්දකැටිය පොලිස්‌ වසමේ සිදු කළ නිධන් හෑරීමේ වැටලීමකදී අත්අඩංගුවට ගත් මීගහකිවුල පදිංචි පෙරුම්හේවා සඳුන් මාලිංග (අවු. 18) නමැති තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් මොවුන් වරදකරුවන් වී ඇත. මෙසේ මරණීය දණ්‌ඩනය නියම වූයේ අම්පාර පානම පොලිසියේ සේවය කළ උ. පො. පරීක්‌ෂක රාජමන්ත්‍රි මනමේන්ද්‍ර පටබැඳිගේ සෝමරත්න, මඩකලපුව, වව්නතිවු පොලිසියේ සේවය කළ පො. කො. (49819) ධර්මපාලිත පත්මකුමාර ගමගේ, බදුල්ල රිදීමාලියද්ද පොලිසියේ සේවය කළ පො. කො. (50293) සමරකෝන් මුදියන්සේලාගේ රුවන් පුෂ්පකුමාර, මුලතිව් මාන්කුලම් පොලිසියේ සේවය කළ පො. කො. (54194) දිසානායක මුදියන්සේලාගේ අබේරත්න, බණ්‌ඩාරවෙල ඇල්ල පොලිසියේ සේවය කළ පො. අ. සහායක (2240) දිසානායක මුදියන්සේලාගේ විඡේරත්න සහ බදුල්ල සිවිල් ආරක්‌ෂක බළකායේ සේවය කළ (13214) සමරකෝන් මුදියන්සේලාගේ ජයසුන්දර නමැති අයටයි.

මොවුන් චෝදනා 11 කට වරදකරුවන් වී තිබේ.

No comments:

Post a Comment