Thursday, September 8, 2016

ඔබත් දැනගන්න ආදිවාසීනගේ පුද පුජා ක්‍රම!

එස්‌. වීරරත්න
අංක 332, පොල්ගහමුල,
කොළඹ පාර, පේරාදෙණිය.

සිංහල ජාතියේ ආරම්භය ගැන ඉතිහාසඥයන් සහ සමාජ විද්‍යාඥයන් පමණක්‌ නොව විවිධ උගතුන් අතරද විවිධ මතිමතාන්තර ඇත. "මහාවංශයට" අනුව "විජය කුමරු" ශ්‍රී ලංකාවට පැමිණි පසු සිංහල ජාතිය ආරම්භ වූ බව පෙනේ.
වංග රටේ සිට නැව් නැගලා
තම්මැන්නාවට ගොඩ බැහැලා
විජය නමින් යුත් කුමාරයා
සිංහල ජාතිය පිහිටෙව්වා
එහෙත් ඒ මතයට විරුද්ධ ඇතැම් අය රාවණා රජු යුගයේත් සිංහල ජාතිය ජීවත් වූ බව පවසති. එසේම විජය ශ්‍රී ලංකාවට පැමිණෙන විට "කුවේණි" නූල් කටිමින් සිටි බවත් ඒ අනුව විජය පැමිණෙන විටත් ශ්‍රී ලංකාවේ තාක්‍ෂණය අතින් පවා උගත් කොටසක්‌ ජීවත් වූ බවත් විශ්වාස කෙරේ. එපමණක්‌ නොව බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවට තුන් වතාවක්‌ම වැඩිය බවත් ඒ සමයේ ශ්‍රී ලංකාවේ උගත් පිරිස්‌ ජීවත් වූ බවත් සනාථ කරති. බුදුන්වහන්සේගේ ධර්මය වටහාගන්නට තරම් බුද්ධිමත් පිරිසක්‌ ශ්‍රී ලංකාවේ ජීවත් වූ බවට එයම සාධකයකි. මේ කුමන මතයක්‌ නිවැරැදිද? යන්න තීරණය කළද ශ්‍රී ලංකාවේ ඈත අතීතයේ ජීවත් වූ ජනතාව ගැන යම් අවබෝධයක්‌ ලබා ගැනීමට ඒ කරුණු උපකාරි වේ. විජය කුමරු පැමිණෙන විට සිටි "කුවේණිය" යකින්නකි. ඒ අනුව යක්‍ෂ ගෝත්‍රික පිරිසක්‌ ජීවත් වූ බව පැහැදිලිය. එසේම බුදුන්වහන්සේ ලංකාවට පැමිණ ධර්ම දේශනා කළේ "යක්‍ෂ" සහ "නාග" ගෝත්‍රිකයන් දෙපිරිසකටය. "රාවණා" රජුද "දසිස්‌" හෙවත් හිස්‌ දහයක්‌ (එය බලයන් දහයක්‌ විය හැක) ඇතිව ජීවත් වූ බවත් ඔහු ඉතාම ප්‍රතාපවත් පුද්ගලයකු බවත් දැක්‌වේ. ඒ අතර පැරැණි ග්‍රාම නාම අතර "යක්‌කුරේ" (යක්‌හුරේ)" යකුන්නාව (යකුන්නෑව) වේලාපුර, "රාස්‌සගල", "නාගදීප" ආදිය මේ යක්‍ෂ, නාග ගෝත්‍රිකයින් ගැන කියෑවෙන ස්‌ථාන වේ. එසේම පැරැණි සමාජයේ දේව වන්දනාව මෙන්ම යක්‍ෂ වන්දනාවත්, නාග වන්දනාවත් තිබූ බව පැහැදිලිය. අද මේ වන්දනා ඇතැම් ප්‍රදේශවල පවතී. මේ සාධක පදනම් කරගෙන අපේ "ආදිවාසීන්" වන වැදි ජනතාවගේ ඇදහිලි සහ පුද පූජා පිළිබඳව ගවේෂණය කිරීම පහසුය. මේ ලිපියේ මුඛ්‍ය අදහස ආදිවාසීන්ගේ පුද පූජා ක්‍රම සොයා බැලීමය. ඒ මගින් ඔවුන්ගේ ජීවිතවල ඇති අව්‍යාජත්වය සහ සරල බව වටහාගත හැක. යක්‍ෂයින්, රාක්‍ෂයින්, පරාස්‌සයින් වැනි පන්ති භේදයක්‌ද යක්‍ෂයින් තුළ පවතී. යක්‍ෂයින්ට වඩා රාක්‍ෂයින් භයානක වීමත් පරාස්‌සයින් මේ දෙපිරිසිටම වඩා බලවත් බවත් කියෑ වේ.
කෙසේ වෙතත් මේ ආදිවාසීන් හෙවත් වැදි ජනතාව යක්‍ෂන්ට පුද පූජා පවත්වන ජන කොටසක්‌ බව පැහැදිලිය. ඔවුන් යක්‍ෂයින් සැලකුයේ "නෑයකුන්" ලෙසටය. ඉතිහාසයට අනුව "පාහියන් ලෙන", "පොම්පරිප්පු" වැනි මානව වර්ගයාගේ පැරැණිම සාමාජිකයන් ජීවත් වූ ඈත අතීතයේ සිටම යම්යම් ඇදහිලි හා විශ්වාස පැවැති බව පෙනේ. මෙම ආදිවාසීන්ට "ආගමක්‌" හෝ "දර්ශනයක්‌" තිබූ බව නොපෙනේ. ඔවුන් විශ්වාස කළේ තමාගේ මියගිය ඥතීන් හා තමාගේ ශරීර ශක්‌තිය ගැන පමණි. තමාට ශක්‌තිය හා බලය ලබා දෙන්නේ තමාගේ මියගිය ඥතීන් බවත් ඔවුන් අමනාප කර ගැනීම සෑම අතින්ම අවැඩදායක බවත් ඔවුහු පිළිගත්හ. අප අදත් විශ්වාස කරන බොහෝ දේවල ආරම්භය මෙම ආදිවාසීන්ගෙන් උරුම වූ දේවල්වලින් පැවැතෙන බව විශ්වාසය. උදාහරණයක්‌ අතර "කොළඅත්තක්‌" එල්ලීම මගින් යන එන ගමන් සුබදායක බව විශ්වාස කෙරේ. එසේම මෙරුවන් (අවාගියේ) එන විටද කතා නොකොට ගෙයි දොරකඩ ගසකින් කඩාගත් කොළ අත්තක්‌ එල්ලන්නේ පුරුද්දටය. එබැවින් අපේ ආදිවාසීන්ගෙන් පැවැත එන උද පූජා පිළිබඳව "බිඳක්‌" සාකච්ඡා කිරීම වැදගත් වේ.
මෙම ආදිවාසීන්ට ප්‍රධාන දෙවියකු හෝ යක්‍ෂයකු නැත. උදාහරණ සේ අප විෂ්ණු කතරගම, සමන් වැනි දෙවිවරුන් ඇතුළු දෙවිවරුන් කිහිප දෙනකුට පුද පූජා පැවැත් වුවද ඔවුනට එවැනි දෙවියකු නොමැත. බෞද්ධයින් බුදුන් වහන්සේටත්, කතෝලිකයන් දෙවියන් වහන්සේටත්, ඉස්‌ලාම් භක්‌තිකයන් අල්ලාහ් දෙවියන්ටත්, හින්දුන් ශිව දෙවියන්ටත් නායකත්වය ලබා දුන්නද වැදි ජනතාවට එවැනි විශේෂ දෙවියකු හෝ ආගමික කර්තෘවරයකු නොමැත. ඔවුන් විශ්වාස කරන්නේ තමාගේ මියගිය නායකයකු නැවත ඉපදී තමාට උපකාර කරන බවය. මියගිය ඥතීන් ඉපදීම නිසා ඔවුන් "නෑයකුන්" ලෙස හැඳින්වේ. මෙසේ නෑයකුන් බවට මියයන සියලුම වැදි ජනතාව නොඉපදේ. මෙසේ යළි උපදින්නේ "විශේෂ වූ පුද්ගලයන්" පමණි. එහෙත් "පුනරුත්පත්තිය" පිළිබඳව ඔවුහු නොදනිති. මෙසේ මියගිය ඥතීන් නැවත ඉපදුණු බව ඔවුනට දැනගන්නට හැකියාව පවතී. මියගිය ඥතියා මියගොස්‌ "සතියකින්" (දින හතකින්) හෝ "මාසයකින්" පමණ නැවත ඉපදී තමාට උපකාර කිරීම සිදුකරයි. දඩයම් වැඩි කිරීම, ගඩාගෙඩි වැඩි කිරීම එවැනි එක්‌ දෙයකි. මියගිය ඥතියා අමනාප වී සිටීනම් මියයන්නට පෙර ඉතාම හිතවත් අයකුට තුවාල සෑදීම, උණ සෑදීම, දඩයම් අහිමි කිරීම, වැස්‌ස අඩු කිරීම ආදිය සිදුකරයි. එවිට මියගිය ඥතියා සතුටු කිරීමට "කිරි" කොරහ" නැටීම සිදු කළ යුතු වේ. මෙසේ උපදින්නේ "වරිගයේ" වැදගත් අය පමණි. මේ නිසා ඔවුන්ගේ ප්‍රධානම ආගමික විශ්වාසය "මළගිය ඇත්තන් පිදීමක්‌" සේ බැලූ බැල්මට පෙනේ. (ඇතැම්විට ශ්‍රී ලාංකිකයන් පවුලේ අයකු මිය ගිය විට හත් දවසේ දානය සහ තුන්මාසයේ දානය දෙන්නේ මෙම සිරිතේම විකාශයක්‌ ලෙස විය හැක. මෙය අදහසක්‌ පමණකි. මියගිය ඥතියා කෝපවූ විට පවුලේ එකකුට සර්පයකු දෂ්ට කිරීම ශරීරයේ ගෙඩි හටගැනීම, දරුවන් ගබ්සා කිරීම ආදිය සිදුකරන බව විශ්වාස කෙරේ.
මෙසේ "නෑයෙකකු" ඇතිවූ විට "වරිගේ ඇත්තන්" එක්‌වී "මහහුරා" මුල්කරගෙන "කැලෑ පොඡ්ඡේ" කිරිකොරහ නටති. මෙසේ නැවත ඉපදුණු යක්‍ෂයින් අතර පහත සඳහන් යක්‍ෂයින් සිටින බව සඳහන් වේ.
1. මල්වඩම් රාක්‍ෂ, 2. සේරන් යකා, 3. හබරගල යකා, 4. කන්දෙ යකා, 5. ඉඳිගොල්ලෙ යකා, 6. පාබික්‌ කුමාරි. ඒ අතරවේ. යම් කාන්තාවක්‌ (වැදි කැකුළියක) ගැබ්ගත් විට දරු ප්‍රසූතියට පෙර මෙම නෑ යකුනට භාරදීම සිරිතකි. බෞද්ධ සමාජයේ ගැබිනි කාන්තාවකට "අංගුලිමාල පිරිත" කියවන්නාක්‌ මෙන් ආදිවාසී ජනතාව තම ස්‌ත්‍රීන්ට නෑයකු හට බාරහාර වී පඬුරු ගැට ගැසීමත් කොළ අතු කඩා පෑමත් සිදුකෙරේ. දරු ප්‍රසූතිය සිදුවූ පසු පඬුරු ඔප්පු කිරීම නොවරදවාම සිදුකෙරේ.
"කිරි අම්මා" වරු ඇදහීමට වැදි ජනතාව පුරුදුව සිටිති. මෙම කිරි අම්මාවරුන් කිහිප දෙනකුම සිටී.
1. කුකුළා පොල කිරි අම්මා, 2. මහ කිරි අම්මා, 3. දිවැසි කිරි අම්මා, 4. වෙල්ලස්‌සේ කිරි අම්මා මෙයින් කිහිප දෙනෙකි. කිරි අම්මාවරු ගැන කියෑවෙන ගායනා ද බොහෝ ඇත.
කුකුලා පොළට තලමල පිපුණා වාගෙයි
බින්තැන්නට රජකම ගත්තා වාගෙයි
මරානයන්නට ආ මිනිමරුවකු වාගෙයි
කුකුළා පොළ කිරි අම්මත් ඒ වාගෙයි
මෙම යක්‍ෂයන්ට හෝ කිරිඅම්මාවරුනට "දේවාල" ඉදිකොට නැත. වනාන්තරයේ ඇති මහ විශාල ගස්‌ ඔවුන්ගේ වාසස්‌ථාන වේ. "කිරි කොරහ නැටීම" ඔවුන්ගේ ප්‍රධානම පූජා විශේෂයෙකි. මොවුහු ඇතැම් අවස්‌ථාවල පුද පූජා සඳහා සිංහල ජ්‍යෙdතිෂ මහත්වරුන්ගේ සහාය ද ලබා ගනිති. එසේම මේ වැදි ජනතාව මහනුවර ඇසළ පෙරහැරට වාර්ෂිකව මී පැණි පූජා කිරීම නොවරදවාම සිදුකරති. එසේම මහියංගන පෙරහැර නරඹන විට එහි විශේෂ අංගයක්‌ ඔබ දැක ඇත. ඒ "වැදි නැටුමයි". කතරගම උත්සව සමයේදීත් මේ ආදිවාසීහු නොවරදවාම එහි යති. මේ ජනතාව දැන් දැන් ක්‍රමයෙන් බෞද්ධ දර්ශනය වෙත නැඹුරුවන ප්‍රවණතාවයක්‌ පෙනේ. ඒ අවට ප්‍රදේශවල සිංහල පාසල් ඇතිවීම සහ අසල්වාසී ගම්මානවල සිටින සිංහල බෞද්ධ ජනතාවගේ ඇසුර නිසා විය හැක.
ආදිවාසීන් අදහන යක්‍ෂයින් හෝ කිරිඅම්මාවරු පිටස්‌තර අය නොවේ. තමාගේ පාරම්පරිකව (වරිගයේම) ඇත්තන්ය. අතීතයේදී පණ්‌ඩුකාභය කුමරු ආරක්‍ෂා කළේ "කාලවේල" සහ "චිත්ත" නම් යක්‍ෂයන් දෙදෙනා බව ඉතිහාසයේ සඳහන් වේ. මේ නිසා "දේශීය යක්‍ෂයන්" අදහන ආදිවාසීන් අපේ ඥතීන් වන අතර ඒ ඔවුන් අදහන "නෑ යකුන්ද" අතර ඥතීන් විය යුතුය. යමකු යක්‍ෂයින් නැතැයිද ඔවුන් මිථ්‍යාවක්‌ පමණක්‌ යෑයිද තර්ක කළ හැක. එසේම බෞද්ධයින් යක්‍ෂයින් හෝ දෙවියන් විශ්වාස කළයුතු නැතැයිද තර්ක කළ හැක. සුළඟ අපට නොපෙනේ. එහෙත් සුළඟ සමග එන සිසිලස හෝ උණුසුම අපට දැනේ. මලක සුවඳ ඔබට දැනුණාට එහි හැඩය ඔබට දැකිය නොහැක. යක්‍ෂයින්ද දෙවියන්ද ඔබට දැකීමට නැතිsවූ පළියට ඔවුන් නැතැයි නොසිතන්න ඔවුන් අපේ "නෑ යකුන්" නිසායි.

No comments:

Post a Comment