Thursday, September 8, 2016

මහලොකු කිරි අම්මා වෙනුවෙන් හැත්මේ නටන ආදීවාසී ඇත්තන් දුටුවෙමු!

ආදිවාසී ජනතාව තුළ පවතින ශාන්ති කර්ම අතරින් ප්‍රසිද්ධව ඇත්තේ කිරිකොරහා නැටීමය. ජනතාවගේ විශ්වාසය ද ආදිවාසී ජනතාවගේ එකම ශාන්ති කර්මය කිරිකොරහා පමණයි කියාය. එහෙත් එම ශාන්ති කර්මයට එහා ගිය තවත් සුවිශේෂී ඇදහිලිs ක්‍රම කිහිපයක්‌ම ආදිවාසී ජනතාව තුළ තිබේ. අප මේ කතා කරන්න යන්නේද කිරිකොරහා නැටීමට එහා ගිය ආදිවාසී ජනතාව අතර තිබෙන තවත් සුවිශේෂී ඇදහිලි ක්‍රමයක්‌ ගැනය. ප්‍රසිද්ධියක්‌ නැති මුත් අදිවාසී ජනතාව දැඩි සේ විශ්වාස තබා තිබෙන ශාන්ති කර්මයක්‌ ගැනය. එනම් හැත්මේ ශාන්ති කර්මය ගැනය. කෙනකු තමන්ගේ ආගම ඇදහීම තුළ බලාපොරොත්තු වන්නේ කිනම් දෙයක්‌ ද දඹානෙ පෝරුගමේ වැසියන් ද හැත්මේ ශාන්ති කර්මය තුළින් ශාන්තියක්‌ බලාපොරොත්තු වන්නාහ.
ආදිවාසීන් ජීවත් වන ගම්මානයකට හැත්මයක්‌ තිබේ. ඒ හැත්මේ නැටීමෙන් බලාපොරොත්තු වන්නේ එක්‌ පුද්ගලයකුගේ ශාන්තියක්‌ නොවේ. ගමට සහ මුළු රටට ලැබෙන ශාන්තියකි. සාමාන්‍යයෙන් ආදිවාසී ගමක හැත්මේ ශාන්ති කර්මයක්‌ පවත්වන්නේ අවුරුද්දකට එක වතාවකි. විශේෂයෙන්ම හැත්මේයක්‌ පවත්වන කාලය තීරණය වන්නේ සමන් දෙවියන් වෙනුවෙන් පවත්වන පෙරහැරට පෙර මාසයයි. හැත්මේ කාර්යයන් සියල්ලම සිදු කෙරෙන්නේ මහලොකු කිරිඅම්මා වෙනුවෙනි. මහ ලොකු කිරිඅම්මාගේ කාර්යයන් සමන් දෙවියන්ට කරන පුද සත්කාරයන්වලට පෙර සිදු කර හමාර කළ යුතු බවට සමාජයේ මතයක්‌ තිබේ. එහෙයින් හැත්මේ භාරව සිටින සියලුම දෙනා සමන් දේවාලයේ පෙරහැරට පෙර එම ශාන්ති කර්ම පවත්වා අවසාන කරන්නේය.
මෙවර ද දඹාන පෝරුගම් ආදිවාසීන් හැත්මේ නැටීමට දින සූදානම් කරගෙන සිටින බව අපට සැළ විණි. අපිත් කථීකා කර ගත් අයුරින් දුරකතර ගෙවාගෙන හැත්මේ නටනවා බලන්න පෝරුගමට යන්න පිටත් වීමු. සිතූ තරම් ගමන ලේසි පහසු නැත. අප මහියංගනයට යන විට ප්‍රදේශය පුරා අඳුර ගලමින් තිබිණි. සවස 6.00 ට පමණ අපි මහියංගනයෙන් කොටබකිණිය බස්‌ රථයට ගොඩ වීමු. බස්‌ රථය සම්පූර්ණයෙන්ම පිරී ගොස්‌ තිබුණේ වැදි ජනතාවගෙන්ය. බස්‌ රථයේ සිටි ආදිවාසීහු කිහිප දෙනෙක්‌ම අප සමග සුහදව කතා බහ කළහ. හැත්මේ ශාන්ති කර්මයේ අනුහස්‌ ගැන ද ඔවුහු අපට බොහෝ දේ විස්‌තර කර දුන්හ. පසුව අපි මහියංගනය අම්පාර මාර්ගයේ දඹාන හන්දියෙන් බැස ත්‍රිරෝද රථයකට නැගී දඹාන ආදිවාසීන්ගේ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය අසලට ගියෙමු. හැත්මේ ශාන්ති කර්මය පැවැත්වෙන ස්‌ථානයට එතැන සිට තවත් කිලෝ මීටර දෙකක්‌ පමණ කැලේ ඇතුළට යැමට සිදු විය. ගමන අතිශය අවදානම්ය. ජංගම දුරකථන එළි හැරෙන්නට වෙන කිසිදු පිහිටක්‌ අපට නැත. අලි කොටි වළසුන් මඟ රැකවළේය. කැලෑ දෙවියන්ගේ පිහිටෙන් අපි අඩි පාර දිගේ යක්‌පොළ සොයාගෙන ගියෙමු.
ඒ යන විටත් විශාල පිරිසක්‌ එතැනට එක්‌රොක්‌ව සිටියහ. ඒ අතර විශ්වවිද්‍යාල සිසුන්, ගුරුභවතුන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන් ද විශාල පිරිසක්‌ සිටීයහ. එමෙන්ම තවත් කිහිප දෙනෙක්‌ හැත්මේ නැටීමට සූදානම් කර තිබූ මඩු විවිධ අතු, වැල්, මල් වලින් සරසමින් සිටීයහ. අප එතැනට ගොස්‌ පැය දෙකකට විතර පසු එනම් රෑ එකොළහට පමණ හැත්මේ නටන ස්‌ථානයේ සිට ටික දුරකින් මඩුවක තැන්පත් කර තිබූ දේව ආභරණ වැඩමවීම සිදු කෙරිණි. ගහක්‌ යට පැදුරක්‌ මත ඈඳී ගෙන අපිත් හැත්මේ නැරඹීමට සූදානම් වුණෙමු.
වැදි ජනතාවගේ දේවස්‌ථානය ලෙස සැලකෙන්නේ යක්‌පොළය. දේව ආභරණ තැන්පත් කර තිබෙන්නේ ද මෙම දේවස්‌ථානයේය. එහෙයින් මෙම ස්‌ථානය මිනිස්‌ වාසයෙන් තොර ඉඳුල් කිළිටුවලින් නොඉඳුල් ස්‌ථානයක්‌ හැටියට ද සැලකේ. හැත්මේ ශාන්ති කර්මය පවත්වනු ලබන්නේ ද යක්‌පොළ ආසන්නයේ තැනකය. දේවස්‌ථානයෙන් යක්‌ දෙවිඳුන් සහ ආභරණ වැඩමවීමෙන් පසු හැත්මේ නැටීම ආරම්භ වේ. සාමාන්‍යයෙන් හැත්මයක්‌ ආරම්භ වන්නේ රාත්‍රි දහයට පමණය. එතැන් සිට පහුවදා සවස තුන හතර වන තෙක්‌ ශාන්ති කර්මය පැවැත්වේ.
ඉදිගොල්ලෙ කිරිඅම්මා
කුකුළාපොළ කිරිඅම්මා
ඉදිගොල්ලෙ කිරිඅම්මා
කුකුළාපොළ කිරිඅම්මා
රැක දෙම්මා කිරිඅම්මා
දිවැස්‌ උතුම් කිරිඅම්මා
ගැහැනු, පිරිමි ළමයින් පිරිසක්‌ ඉතාම ළයාන්විත සමූහ හඬකින් මහලොකු කිරිඅම්මාට මොක්‌කාලීය තුළට ආරාධනා කරන්නාහ. ගායනය සේම බෙර වාදනය, ගෙඡ්ජි සෙලවීම සහ නර්තන ද ඉතාම සංවරය. බලා සිටීම ප්‍රිය උපදවන්නේය. විදුලි පන්දම් නැති තොවිල් පොළ ආලෝකමත් වී තිබෙන්නේ පෙට්‌්‍රල් ලාම්පු සහ පන්දම් විලක්‌කුවලිනි. ඝන අඳුර මැද තැනින් තැන දැල්වෙන පන්දම් එළි ඒ බිමට අමුතුම විචිත්‍රත්වයක්‌ එකතු කර තිබිණි. එමෙන්ම පළඟැටියන්ගේ කෙඳිරිය, කලාමැදිරියන්ගේ අමිහිරි නාදය ද මේ කුඩා ළමයින්ගේ කවිකාර හඬට මුසුව ගලා එන්නේ ළයාන්විත ස්‌වරයකින් හැඬවෙන සංගීතයකි.
හැත්මේ ශාන්ති කර්මය නැටීම සඳහා ගොක්‌ අතු, කොළ අතු ආදී සැරසිලිවලින් යුත් යක්‌ මඩු හතරකි. ඊට අමතරව මොක්‌කාලීයෙන් පටන්ගෙන කොළ මඩුව, කම්බ කණුව සහ බුලත් මඩුව යනුවෙන් තවත් සෙසු මඩු කිහිපයක්‌ සකස්‌ වී තිබේ. යකුන් සම්බන්ධව පෞද්ගලිකව කරන ශාන්ති කර්මවලදී වගේ නොවේ හැත්මේ ශාන්ති කර්මය තුළදී සියලු යකුන් වෙනුවෙන් පුද සත්කාර පැවැත්වේ. යකුන් වෙනුවෙන් කරන යාග රෞද්‍ර ගතියක්‌ පෙන්නුම් කරන අතර දෙවියන් වෙනුවෙන් කරන නැටුම් සංවර සහ බැතිබර ස්‌වරූපයක්‌ උසුලන්නේය. දෙවියන් වෙනුවෙන් නටන අවස්‌ථාවලදී වෙහෙසකර ආරූඪ වීම්, බිම වැටීම් සහ පෙරළීම් සිදු වන්නේ නැත. යකුන්ගේ නැටුම් තුළ පෙර කී සියල්ල ඇතුළත් වන අතර නරඹන්නා විශ්මයට පත් කරවන සුලු නර්තන ඉදිරිපත් වන්නේය. පැඳුරු මත වාඩි ගෙන හැත්මේ නරඹන පුංචි උන් මරළතෝනි දී කෑමොර දෙන තරමට යකුන්ගේ නර්තන විලාසයන් භයංකරය. යකුන්ගේ අඬහැරය මැද මහ කැලේ මැදින් ඇසෙන අලි කොටි වළසුන්ගේ නාදයෙන් අපි තවත් භ්‍රාන්ත වී සිටියෙමු. ශාන්ති කර්මය තුළ ගායනා කරන කවි, බෙර පදවල සිට නැටුම් ස්‌වරූපයත් වෙනස්‌ය. රෞද්‍ර ස්‌වරූපයෙන් කරන නැටුම් සහ බොදු බැතියෙන් කරන නර්තන වශයෙන් විශේෂ කොට දැක්‌විය හැකිය. එම නැටුම් වෙනස්‌ වන්නේ වෙස්‌ ගන්වන යක්‍ෂ කොට්‌ඨාසය නියෝජනය වන ආකාරය අනුවය. විශේෂයෙන් මොක්‌කාලීයේදී දකින්නට ලැබෙන්නේ හැඩ වැඩ වූ අලංකාර නර්තන ශිල්පියෙකි. එහෙත් කොළ මඩුවේදී අපට දකින්නට ලැබෙන්නේ සරල ඇඳුමින් සැරසුණු නර්තන ශිල්පියෙකි. දිවැස්‌ දෙවියන් සහ දොළහයකුන් වෙනුවෙන් කරන මල්එළිය නර්තන ඉතාම සංවර, ගෞරවාන්විත නර්තනයක්‌ ලෙස දැක්‌විය හැකිය.
දෙන දෙදි නානෙ... දෙදි නානෙ
දෙන දෙදි නානෙ... දෙදි නානෙ
බටවල කන්දට හේ පිරි පිහිටෙ
බටවල කන්දට හේ පිරි පිහිටෙ
තෙල්ලන් ඉර ගෙඩි විහිදෙන්නා
තෙල්ලන් ඉර ගෙඩි විහිදෙන්නා
වේගෙන් ඉර ගෙඩි පායන කාලෙට....
හැත්මේ ශාන්ති කර්මය පුරා යකුන් තුන්සිය හැටක්‌ වැනි පිරිසකට පුද සත්කාර පවත්වනු ලැබේ. හැත්මේ ශාන්ති කර්මය තුළ ප්‍රධාන යක්‍ෂ කාණ්‌ඩ දෙකක්‌ ලෙස නර්තන ඉදිරිපත් කෙරේ. ප්‍රධාන යක්‌ දෙවියන් ලෙස මල්දම්, ජලජ යක්‍ෂ දෙදෙනකු සහ ඊට පහළින් සිටින තවත් යක්‌ දෙවිවරු කිහිප දෙනකු නර්තන ඉදිරිපත් කරති. දෙවැනි පෙළෙත් දෙවිවරු පස්‌ දෙනෙක්‌ පමණ නර්තනයන් ඉදිරිපත් කරති. නම් වශයෙන් සඳහන් කළොත් යල්ඉරණාරච්චිලා, මුදුවල යකින්නෝ, මලුවේ යක්‌කු සහ ලේපත්නච්චිලා කියන යක්‌ දෙවියන් වෙනුවෙන් මඩුව කියන ස්‌ථානයේ ශාන්ති කර්මය කරති. තාරතිරම නොබලා ලොකු කුඩා මහලු හැමෝම නෑ සනුහරේ යකුන් සියල්ලෝම තමන්ගේ ඥාතීන්ගේ ශරීර කූඩුවලට ආරූඪ වී හැත්මේ නටනු ලැබේ.
''හැත්මේ කියන්නේ වැදි ජනතාවගේ පාරම්පරික ශාන්ති කර්මයක්‌. වැදි පරම්පරාවේ ආරම්භයේ සිටම ඔවුන්ගේ මළගිය ඇත්තෝ සහ යකුන් ඇදහීම කෙරුණා. වැදි පරම්පරාවේ ආරම්භයේ ඉඳලම කරගෙන එන නිසා හැත්මේ ශාන්ති කර්මයට දිගු ඉතිහාසයක්‌ තියෙනවා. සිරිතක්‌ විදිහට අපි මහියංගන පෙරහැරේ දිය කපන උත්සවයට ඉස්‌සර වෙලා හැත්මේ නැටීම කරනවා. මේ ශාන්ති කර්මය සිදු කරන්නේ මහියංගන පෝරුගම සමන් දේවාල භූමියේ. සමන් දේවාලය කියන්නේ බණ්‌ඩාර දෙවියන්, සමන් දෙවියන් සහ මහ ලොකු කිරි අම්මා වැඩ සිටින ස්‌ථානයට. කථිකා කරගත් විදිහට ඊයේ රෑ ශාන්ති කර්මය පටන් ගත්තා. හෙට හවස වෙනකම් ශාන්ති කර්මය පැවැත්වෙනවා. අපේ මිනිස්‌සුන්ගේ විශ්වාසයක්‌ තියෙනවා මේ ශාන්ති කර්මය පැවැත්වුණාට පස්‌සෙ සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා. ගමේ ගෙවල්වල සියලුම දෙනා මෙතැනට එකතු වෙලා ඉන්නවා. ගමේ බාල කුඩා හැම කෙනෙක්‌ම දින තුනක්‌ මස්‌ මාංශවලින් වැළකිලා තමයි මෙතැනට ඇවිත් තියෙන්නෙ. මේ ශාන්ති කර්මය හෙට අවසාන වෙනකොට ගම්ගොඩේ ලෙඩ දුක්‌වලින් පීඩා විඳින හැම කෙනෙකුටම සහනය ලැබෙනවා. අපේ මුතුන් මිත්තන්ගෙ කාලෙ ඉස්‌පිරිතාල නෑ. ලෙඩට දුකට බෙහෙත් නෑ. මහ කැලෑවේ සතා සිව් පාවකුගෙන් කරදරයක්‌ වුණත්, ගිනි බටයක්‌ පත්තු වුණත් වෙද ගෙදරට ගෙනියන්න ඉස්‌සර වෙලා යක්‌ දෙවිඳුන් ඉදිරියට ගෙනිහින් බාර වෙනවා. සමහර වෙලාවට එතැනින්ම ලෙඩ සුවපත් වෙනවා. හැම දුකක්‌ම කියන්නෙ යක්‌ දෙවිඳුන්ට. මේ ශාන්ති කර්මයේදී කෙරෙන්නේ යක්‌ දෙවිඳුන්ට වෙච්ච බාර හාර ඔප්පු කිරීම. මේක අපේ වරිගයට, ගමට විතරක්‌ කරන ශාන්තියක්‌ නෙමෙයි. ප්‍රදේශයටත් මුළු රටටත් මේ යාගයෙන් ශාන්තියක්‌ වෙනවා. හැත්මේ නටන්න වෙන කොහෙන්වත් නැට්‌ටුවො ගේන්නෙ නෑ අපේ දරුවො තමයි මෙතැන නැටුම් ඉදිරිපත් කරන්නේ. අපේ මිනිසුන්ගේ ඇඟ තුළ මේ නර්තන තියෙනවා. මේ රට පැවත එන්නෙත් යක්‍ෂ, නාග ගෝත්‍රවලින්. ඒ කාලයෙ ඉඳලම ඒ ඇත්තො ඇදහීම් කරලා තියෙන්නෙ යක්‍ෂයන්ට නාගයන්ට. ඒ අතින් බලනවා නම් මේ රටේ හැම කෙනෙකුට හැත්මේ ශාන්ති කර්මය ශාන්තියක්‌ වෙනවා. ඒ නිසා තමයි අදටත් මේ දේවල් මේ විදිහට කෙරෙන්නේ...'' හැත්මේ ඉදිරිපත් කෙරෙන අතරතුර ඌරු වරිගෙ ලොකු බණ්‌ඩර ඇත්තො තම වරිගයේ සම්ප්‍රදායන් ගැන අපට විස්‌තර කළේය.
ඉතිහාසයේ වැදි ප්‍රජාව දඩයම සහ සත්ව පාලනය යන දෙකත් වෘත්තියන් ලෙස වෙන් කරගෙන තිබිණි. ඒත් අද ඔවුහු දඩයමෙන් ඉවත් වී ගොවිතැන ජීවන වෘත්තිය කරගෙන සිටින්නාහ. විශේෂයෙන්ම මේ අහිංසක ජනතාව යක්‌ දෙවිඳුන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ ජීවනාලිය වන ගොවිතැන සරු කර දෙන්නයි කියාය. කුඩා දරුවන් වෙනුවෙන් එම ස්‌ථානයේදී වෙනම ශාන්ති කර්ම සිදු කෙරේ. විශේෂයෙන්ම පුංචි දරුවන්ට වැළදෙන වසංගත රෝගකාරකාදීන්ට වර්තමානයේ බෙහෙත් හේත් තිබුණද අතීතයේ තිබූ එකම බෙහෙත යක්‌ දෙවියන්ට බාර වීම පමණි. එමෙන්ම දරු ඵල බලාපොරොත්තුවෙන් සිටින මවුවරුන්ට ද හැත්මේ තුළ වෙනම ශාන්ති කර්ම සිදු කෙරේ. එදා ඒ දේවල්වලින් ශාන්තිය අත් වුණද අද සමාජය තුළ මෙවැනි දේවල් ගැන විවිධ මත පවතී. එහෙත් හැත්මේ ශාන්ති කර්මය තුළින් ආදිවාසී ජනතාවට නම් ශාන්තියක්‌ අත් වන බව ඔවුන්ගේ විශ්වාසයයි.
මහ කැලයක්‌ මැද තමන්ගේ සංස්‌කෘතිය සහ අනන්‍යතාව ආරක්‍ෂා කරගැනීමට ඔවුන් මේ ශාන්ති කර්මය අනාගතයට වැඩමවාගෙන එනු ලැබේ. එහෙත් වැදි ජනතාවගේ සංස්‌කෘතියත් සමග කිරිකොරහා ඉදිරියට ගෙන ඒමට ඔවුන් උත්සාහ කළද, හැත්මේ සම්ප්‍රදාය ජනප්‍රිය කිරීමට ඔවුන්ගේ වැඩි කැමැත්තක්‌ නැත. සැබැවින් ආධ්‍යාත්මික සුව ප්‍රාර්ථනා කරමින්, ඉදිරි ආත්මය පිළිබඳ ජීවත්වන තුරු සතුටින් ජීවත්වීමට සහ තමිනගේ නෑපරපුරේ මියගිය උන් ආමන්ත්‍රණය කිරීම සඳහා වැදි ජනතාව හැත්මේ නැටීම කරනු ලැබේ. මේ ගම්මානයේ වෙසෙන ජනතාවට පමණක්‌ නොව දඹාන ඇතුළු අවට ගම්මානවල වෙසෙන ජනතාවට ද මෙම ශාන්ති කර්මය තුළින් ශාන්තියක්‌ අත් වන බව වැදි ජනතාවගේ අදහසය. වරිගයේ ආරම්භයේ සිට අද දක්‌වා නොකඩාව හැත්මේ ශාන්ති කර්මය පැවැත්වෙන්නේ වැදි ජනතාවගේ සිත් තුළ පැළපැදියම් වූ එකී විශ්වාසය මත බව සැබෑය.
තරංග රත්නවීර
ලලන්ත වන්නිආරච්චි

No comments:

Post a Comment