Friday, February 15, 2013

වාරි ජලාශ 16 ක්‌ සහ මහවැලි ජලාශ 5 ක්‌ උතුරයි


තුෂාරී කළුබෝවිල, ගයාන් චින්තක - ලාහුගල විශේෂ, කේ. එම්. පී. බණ්‌ඩාර - මඩුල්ල

වාරි ජලාශ 16 ක්‌ සහ මහවැලි ජලාශ 5 ක්‌ ඊයේ (14 වැනිදා) වන විට පිරී උතුරා යමින් තිබිණි. තවදුරටත් තද වැසි ඇති වුවහොත් ජලාශ සියල්ල උතුරා රජරට ඇතුළු ප්‍රදේශ ගණනාවක්‌ ජලයෙන් යටවිය හැකි බවට වාරි මාර්ග බලධාරීහු අනතුරු අඟවති.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ සියල්ලම ඊයේ (14 වැනිදා) වන විට 94% ක්‌ පිරී ගොස්‌ තිබූ අතර එයින් ජලාශ 16 ක්‌ ඊයේ වාන් දමන්නට පටන්ගෙන තිබිණි.

ඒ අනුව අනුරාධපුරයේ නාච්චදූව, පදවිය, රාජාංගනය, වාහල්කඩ ජලාශද බදුල්ලේ නාගදීප ජලාශයද මඩකලපුව රූගම් හා උන්මිච්චි ජලාශද හම්බන්තොට ලුණුගම්වෙහෙර, මව්ආර, වෙහෙරගල ජලාශද මාතලේ දේවහූව, නාලන්ද ජලාශද ත්‍රිකුණාමලයේ කන්තලේ ජලාශයද පොළොන්නරුවේ මින්නේරිය, පරාක්‍රම සමුද්‍රය, කවුඩුල්ල යන ජලාශද මෙසේ වාන් දැමීමට පටන්ගෙන තිබේ.

වෙහෙරගල ජලාශය පිටාර ගැලීමෙන් මැණික්‌ ගඟේ ජල මට්‌ටමද ඉහළ ගොස්‌ තිබේ.

මහවැලි ජලාශ 5 කද ජල මට්‌ටම ඊයේ වන විට ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පැවැති අතර ඒ අනුව රන්දෙණිගල, උඩවලව, කණ්‌ඩලම, කලා වැව, රත්කිඳ, උල්හිටිය යන ජලාශ පිරී ගොස්‌ තිබේ.

මේ අතර අක්‌කරපත්තුව අධ්‍යාපන කලාපයට අයත් තිරක්‌කෝවිල් ප්‍රදේශයට අයත් පාසල් තුනක්‌ ගංවතුර හේතුවෙන් ඊයේ (14) සිට වසා දමා තිබේ. මෙසේ වසා දමා ඇත්තේ තම්මලි විල් මහා විදුහල, මෙතෝදිස්‌ මිෂනාරි විද්‍යාලය සහ කනතරත්නම් විද්‍යාලයයි.

ඊයේ පැවැති ධාරාණිපතා වර්ෂාව හේතුවෙන් තිරක්‌කොවිල් ප්‍රදේශයේ නිවාස 153 ක්‌ පමණ ජලයෙන් යටවීම නිසා 400 ක්‌ පමණ පිරිස දුෂ්කරතාවයට පත්ව සිටිති.

වව්නියාවේ පවුල් 70 ක්‌ ජල ගැලීම් හේතුවෙන් අවතැන්ව සහන කඳවුරුවල නවාතැන් ගෙන සිටිති.

මොරවැව ප්‍රදේශයට ඊයේ වැඩිම වර්ෂාපතනයක්‌ ලැබී ඇති අතර එය මිලි මීටර් 140 කි.

මේ අතර තවදුරටත් ඌව, නැගෙනහිර, උතුර, උතුරුමැද පළාත්වලට සහ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයට තද වැසි, තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

No comments:

Post a Comment