Friday, August 7, 2015

අල්ලසක් නොදී දිවයිනේ ජනප්‍රිය ප්‍රසිද්ධ පාසලකට ඇතුලත් වෙන්න තියෙන හොඳම අවස්ථාව මෙම පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය - ගිරාඳුරුකෝට්ටේ පොළීසියේ ස්ථානාධිපති කියයි

අල්ලසක් නොදී දිවයිනේ ජනප්‍රිය ප්‍රසිද්ධ පාසලකට ඇතුලත් වෙන්න තියෙන හොඳම අවස්ථාව මෙම පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය - ගිරාඳුරුකෝට්ටේ පොළීසියේ ස්ථානාධිපති කියයි
2015-08-07 ප.ව. 10.40

ශිෂ්‍යත්ව විභාගය කියනන්නේ අසීරු විභාගයක් මෙන්ම දරුවන්ගේ හා දෙමව්පියන්ගේ විවේකය සීමා වුනු තියුණු තරග විභාගයක් බව ඇත්තක් වුනත්
අල්ලසක් නොදී පෝලිමේ නොඉඳ ග්‍රාමීය දුශ්කර ප්‍රදේශවල අඩු ආදායම්ලාභී දක්ෂ දරුවන්ට දිවයිනේ ජනප්‍රිය ප්‍රසිද්ධ පාසලකට ඇතුලත් වෙන්න තියෙන හොඳම අවස්ථාව මෙම පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය බව දෙමව්පියන් වන ඔබ හොඳින් මතකයේ තබාගතයුතුයි.අද බොහෝ දෙනෙකේ මෙම විභාගය අම්මලාගේ විභාගය හැටියටයි හඳුන්වන්නේ.යනුවෙන් ගිරාඳුරුකෝට්ටේ පොළීසියේ ස්ථානාධිපති පොළිස් පරීක්ෂක මොහාන්ද සිල්වා මහතා පැවසීය. ඒ මහතා එසේ ප්‍රකාශ කළේ මෙවර පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ගිරාඳුරුකෝටටේ හා අවට පාසල් අටක දරුවන් සඳහා පොලිසිය මගින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයට සහභාගීවූ දෙමව්පියන් අමතමිනි.
තව දුරටත් ඇමතූ මොහාන්ද සිල්වා මහතා, අම්මලා අද මෙම විභාගයට හරි උනන්දුයි.දරුවා පන්ති ගෙනියන්නේ,දරුවා පාඩම් කරවන්නේ , පන්තිය අවසන්  වනතුරු ගේට්ටුව අසල රැඳී සිටින්නේ, අම්මාවරුන් වන නිසා තමයි මෙම විභාගය අම්මලාගේ විභාගය හැටියට හඳුන් වන්නේ.පාසලේ පන්තිභාර ගුරුවරයා තරම්ම අම්මලාත් දරුවාව තැනකට ගේන්න විශාල මහන්සියක් ගන්නවා.ඒත් ගුරුවරයාගේ කාර්යභාරය අම්මලා කරන්න ගියාම තමයි දරුවා අතරමං වෙන්නේ. ඒ නිසා අම්මලා තේරුම් ගන්න ඕන ගුරුවරයාට ඉඩදීලා විවේක වේලාවන් වලදී සාම්ප්‍රදායික පන්තිකාමරයක් නොකර දරුවා සමග විෂය කරුණු සාකච්ඡා කරන්න.යම් යම් දේවල් තෝරලා බේරලා දෙන්න. ස්වාභාවික පර්සරයට දරුවා එක්ක යන්න.රෑ අහස පෙන්වන්න දරුවා උගත්දේ විස්තර කරාවි.ඒ සඳහා ඔබ සතුව ලොකු දැනුමක් තියෙන්න අවශ්‍ය නැහැ. හවස් වේලාවල් වලදී දරුවන් එක්ක වැව් ඉවුරට යන්න. කොරවක්කා,පිළිහුඩුවා ඇතුලු විභාගයට නියමිත පක්ෂීන් ගැන තොරතුරු පරිසරයේදීම දරුවන් ඉගෙන ගනියි.
 ඔබේ මුදල් පසුම්බියේ දරුවාට අවශ්‍යම පිළිතුරු තියේවි.මුදල් හා නෝට්ටු පාඩමට අදාලව තොරතුරු දරුවාට කියාදෙන්න පුලුවන්.විශේෂයෙන්ම නව මුදල් නෝට්ටු ඇසුරින් ප්‍රශ්න සැකසෙනවා.ඒවාට උත්තර ඔබේ ළඟම තබාගෙන හූල්ලන්නේ මොකටද?
 ඒවගේම මේටිකත් ඔබ හොඳින් මතකයේ තබා ගන්න ඕන.විවේකයක්  ලැබෙන හැම වෙලාවකම දරුවා ඔබේ ඇඟේ දැවටෙන්න උත්සාහ කරනවා. ඒකාකාරී පන්තිකාමරය,ප්‍රශ්න පත්‍ර මේවා දැකලා මේවාට උත්තර ලියලා,ලියලා ඔවුන් හෙම්බත්නෙලා ඉන්නේ. එහෙම වෙලාවක ඔබේ තුරුලට එන දරුවා ප්‍රතික්ෂේප කරන්න එපා. දරුවා ඔබේ සෙනෙහස ඉල්ලන වෙලාවයි ඒ. බත් කටක් කවාගන්න හරි ආසයි.ඒවා සියල්ලම දරුවාට අත්‍යවශ්‍ය බව ඔබ හොඳින් මතකයේ තබා ගන්න. දරුවා ඔබට හොඳ ප්‍රථිඵලයක් ඔබට ගෙනැත් දේවි.
 දරුවාට ගහලා රිද්දලා අඩවලා බය කරලා පේපර් කරවන්න එපා.ඒවාට සතුටින් උත්තර ලියන්නේ නැහැ. මේ නිසාම දරුවා මුරණ්ඩු වෙනවා.දරුවාගේ ප්‍රගතියක් නැහැ. ගෙදරදී දරුවා සමග දරුවාට නොදැනෙන්නයි විෂය කරුණු කථා කරන්න ඕනෙ.
 අද බොහෝ පවුල් අතරේ සම්බන්ධතා පිරිහිලා.ඔබ අපි හැදුනු පරිසරය ගැන ටිකක් හිතන්න.අපි මව්පියන් ඥාතීන්,අසල්වාසීන්,ගහකොළ,සතා සිවුපාවා එක්කයි හැදුනේ.අපේ දරුවන්ට ඒ අවස්ථාව අඩුවෙලා. අද පුංචිම පුංචි පවුගක් හැදිලා.මහගෙදරක් නැහැ.රූපවාහිනිය ගෙදර සාලේ අල්ලගෙන.ජංගම දුරකථනය හැමෝගෙම කණ් ආක්‍රමණය කරලා.සියලුම වැඩ යන්ත්‍ර සූත්‍ර සමග. ඒ නිසාම අපේ අය අතරේ සම්බන්ධතා ගිලිහිලා.
 අද බොහෝ දෙමව්පියන් හා දරුවන් අතර දුරස්ථ බවක් තියෙන්නේ.දරුවන්ට කන්න බොන්න දෙනවා.ඉගෙන ගන්න මුදල්දෙනවා.අවශ්‍ය සියලු පහසුකම් සලස්වනවා. ඒත් අපේ අයට තාම දරුවන්ගේ සිතුවිලි තේරුම් ගන්න බැරිවෙලා තියෙනවා. මේ ගැන මීට වඩා අපි හැමෝම සිතන්න ඕන කාලෙ මෙකයි කියලයි මම විශ්වාස කරන්නේ.ඒ නිසා දෙමව්පියන් මේ දරුවන් රේස් එකට දාලා බලන් ඉන්න එපා.මේ රේස් එකෙන් පරාද වුනොත් ජීවිතේ පරාද නොවන බව දරුවාට කියා දෙන්න. මේක ජීවිතයේ අවසානය නොවන බවත් ජීවිතය දිනන්න මෙයත් එක් සුදුසුකමක් විතරක්ම බව ඔබේ පුංචි පැටියාට කියලාදෙන්න.


No comments:

Post a Comment