Wednesday, August 24, 2016

විභාග ශාලාධිපතිකම ළමයෙකුට දෙන්න


සෑම වසරකම ශිෂ්‍යත්ව හපනුන් රැසක්‌ රටට බිහිවන මුත් ශිෂ්‍යත්ව "ජංජාල" වලින් නම් අඩුවක්‌ වූයේ නැත. ඊයේ (22 දා) "දිවයින" පුවත්පතේ ප්‍රධාන සිරස්‌තලය වූයේද එවැනි "ශිෂ්‍යත්ව ජංජාලය"ක්‌ ගැනය. එක ජංජාලයක්‌ නොව බොහෝ ජංජාලය. විල්ගමුව විභාග මධ්‍යස්‌ථානයේ දරුවන්ට ආරම්භක සංඥව නොදී බොහෝ වේලාවකට පසුව "තව විනාඩි 20 යි තියෙන්නේ" යෑයි දැනුම් දී තිබේ. පදියතලාව විභාග මධ්‍යස්‌ථානය හිටි හැටියේ මාරුකර තිබේ. මරදන්කඩවලදී වැරදි විභාග මධ්‍යස්‌ථානයකට සිසුන් යොමු කිරීම සිදුව තිබේ. වැල්ලවායේදී ගුරුවරියක විසින් සිසුන් දෙදෙනකු විභාගයට යොමු කිරීම වළකාලනු ලැබීමේ සිදුවීමක්‌ද වාර්තා වේ. කන්තලේ අග්‍රබෝධි විදුහලේ විභාගය සඳහා යැමට සුපුරුදු බස්‌ රථය නොපැමිණි නිසා සූරියපුර, සමගිපුර ප්‍රදේශවල සිසු සිසුවියන් විභාග ශාලාවට පැමිණ තිබුණේ සූරියපුර පොලිසියේ ජීප් රථ දෙකක නැඟීය.
තවත් මෙවැනි සිදුවීම් ගණනාවක්‌ රට පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා විණි. මෙය අභාග්‍ය සම්පන්න තත්ත්වයකි. පහේ ශිෂ්‍යත්වය දරුවා බාගේට මරණ, අනවශ්‍ය පීඩනයක්‌ දරුවාට එල්ලවන "මව්පියෝ තරග වදින" විභාගයකි. එය දරුවාගේ දක්‍ෂතාව මැන ගැනීමටත් වඩා "හොඳ පාසලක්‌" තෝරා ගැනීමේ සටනක්‌ බවටද පරිවර්තනය වී තිබේ. රැයක්‌ දවාලක්‌ නැතිව වෙහෙසවන දරුවාට මේ තීරණාත්මක දිනයේ මෙතරම් අලකලංචි රැසකට මුහුණ පෑමට සිදුවීම ඇත්තෙන්ම අවාසනාවකි. එතරම්ම "බරපතළ" දිනයකදී පවා අදාළ බලධාරීන්, මෙහෙයුම් නිලධාරීන්, එතරම්ම පිස්‌සු කෙළීම විභාග කොමසාරිස්‌වරයාගේ දැඩි විමර්ශනයට ලක්‌විය යුතු කරුණකි. පහේ ශිෂ්‍යත්වයට නොව ගුරුකමටවත් මෙවැනි ගොන් නාම්බන් සුදුසු නැති බව අපේ විශ්වාසයයි. එවැන්නන් පහේ ශිෂ්‍යත්වය විභාගයටම වාඩි කළ යුතු මට්‌ටමේ ළාබාල මානසිකත්වයක්‌ ඇති අය ලෙස සැලකීම වඩා සුදුසුය. මේ අතරින් වඩාත්ම අවධානයට ලක්‌විය යුතු සිදුවීම වන්නේ විල්ගමුව අධ්‍යාපන කලාපයේ නුගගොල්ල විභාග මධ්‍යස්‌ථානයේ සිදුවීමය. තමන් දන්වන තුරු උත්තර ලිවීම ආරම්භ නොකරන්නට යෑයි උපදෙස්‌ දී ඇති එම ගුරුවරු බොහෝ කාලයකට පසුව "තව විනාඩි 20 යි ඉතිරිවෙලා තියෙන්නේ" කීම තේරුම්ගත නොහැකි කාරණයකි. එක්‌කෝ මේ විභාග මධ්‍යස්‌ථානය භාරව සිටි ශාලාධිපතිවරයා ඇතුළු අනෙක්‌ ගුරුවරු පිරිසට මේ බව අමතකව ගොස්‌ තිබුණා විය හැකිය. එසේත් නැතහොත් මේ දිනවල ජනප්‍රිය "නයි" ටෙලි නාට්‍යය ගැන කතා කරන්නට කාලය වැය වුණා වන්නට පුළුවන. එසේත් නැත්නම් "නයි" අරින්නට කාලය වැය වුණාද විය හැකිය. ඒ කෝක වුවද අන්තිමේදී දඬුවම් විඳින්නට සිදුව තිබෙන්නේ අහිංසක සිසු සිසුවියන් පිරිසකට වීම කනගාටුදායකය. අදාළ විභාග නිරීක්‍ෂණ ගුරුවරුන්ට මේ වගකීමෙන් ලෙහෙසියෙන් ගැළවෙන්නට නොහැකි බව කිව යුතුය. විභාග ශාලාවට පැමිණෙන ශාලාධිපතිවරුන්ගේ සිට සියලුම නිරීක්‍ෂණ ගුරුවරුන්ගේ පවා අසීමිත වගකීම වන්නේ තම රාජකාරිය නිසි ලෙස ඉටුකිරීමය. ඉතා සුළු අතපසු වීමකින් විශාල වරදක්‌ විය හැකි බව මේ පිරිස නොදැන සිටියා යෑයි අප විශ්වාස කරන්නේ නැත. විභාග ශාලාවකට පැමිණෙන ගුරුවර ගුරුවරියන් යම් තරමක හෝ දැනුම්වත් කිරීමකින් පසු ඒ කාර්යයේ යොදවන බවද අපි විශ්වාස කරමු. ඒ කරුණු කාරණා කෙසේ වුව මේ ජංජාලවලට පැටළුණු දරුවන්ට සාධාරණය ඉටුවිය යුතු බව අපි කියමු.

No comments:

Post a Comment