Thursday, December 11, 2014

වල් අලි පහරින් මියගිය තාත්තාගේ දේහය නිවසේ තබා පුතු සා.පෙළ ලියන්න යයි

වල් අලි පහරින් මියගිය තාත්තාගේ දේහය
නිවසේ තබා පුතු සා.පෙළ ලියන්න යයි

මේ තරම් දුකක්‌ මේ ලොකේ කිසිම පුතෙකුට අත්වෙන්න එපා
සා/පෙළ ලියූ සඳරුවන් අමරසිංහ


දෙහිඅත්තකණ්‌ඩිය - රණතුංග, දිඹුලාගල - ප්‍රසන්න සිල්වා

අරලගංවිල වෙහෙරගල නගරයට පැමිණි අලි තිදෙනෙක්‌ පලවා හැරීමට උත්සහ කළ පුද්ගලයකුට වල් අලි පහරදීමෙන් මියගිය පසු පියාගේ දේහය නිවසේ තිබියදී දහසය හැවිරිදි පුතුට අ.පො.ස. විභාගයට මුහුණ දීමට සිදුවූ ශෝකජනක පුවත සොයාගෙන 9 දින වෙහෙරගලට ගියෙමු. අපි යන විට එම ප්‍රදේශයම එකම ශෝකජනක ප්‍රදේශයක්‌ බවට පත්ව තිබිණි.

අරලගංවිල වෙහෙරගල නගරය මැද වල් අලි ප්‍රහාරයකින් මියගිය එම්. ඒ සරත් අමරසිංහ (43) යන අයගේ වැඩිමහල් පුතා වන සඳරුවන් අමරසිංහ (16) දිවයිනට මෙලෙස අදහස්‌ දැක්‌වීය.

වල් අලි ප්‍රහාරයෙන් මියගිය තාත්තාගේ දේහය ගෙදර තියාගෙන මට අ.පො.ස. විභාගේ ලියන්න යන්න සිදුවීම තරම් දුකක්‌ මේ ලෝකේ තවත් කිසිම පුතෙකුට අත්වෙන්න එපා.

තාත්තා මල්ලිටයි, මටයි, හරිම ආදරෙයි. තාත්තා මියයන විට මම අම්මා ළඟ සිටියා. මම දුරකථනයෙන් තාත්තාට කතා කළා. මම ඉක්‌මනට එනවා කීවා, අලි ප්‍රහාරයකින් මියගිය තාත්තාගේ දේහය බලන්න තමයි මට එන්න සිදුවුණේ. හොඳට ඉගෙන ගන්න කීවා. තාත්තා අලි ගහලා මියගිය නමුත් තාත්තාගේ අවසන් කටයුතු සිදුවුණ 9 දින තාත්තාගේ දේහය ගෙදර තියාගෙන මට අ.පො.ස. විභාගයට මුහුණ දීමට සිදුවීම තරම් දුකක්‌ මට තවත් ඇත්තේ නෑ. මේ වාගේ දුකක්‌ ජීවිතයේ මට හෝ කිසිම කෙනකුට කවදාවත් ඇති වෙන්න එපා. මේ සිදුවීම ජීවිතයේ මට කවදාවත් අමතක වන්නේ නැති බව කීය.

වෙහෙරගල අංක 43 පදිංචි ආර්. පී. ප්‍රේමදාස (59) මහතා අදහස්‌ දක්‌වමින් වෙහෙරගලට ඇවිත් දැනට වසර 23 ක්‌ වෙනවා. නමුත් මේ වාගේ නගරය මැදට ඇවිත් අලි ගහලා ජීවිත විනාශ කරයි කියලා කවදාවත් හිතුවේ නෑ. ජනමාධ්‍යවේදීන් ඇත්ත ලියන්න ඕන. ජනමාධ්‍යවේදීන් තමන්ගේ සමාජ වගකීම යුතුකම වෙනුවෙන් ලියන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

මීට පෙර කවදාවත් අපිට කරදරයක්‌ වුණේ නැහැ. දැන් දැන් අලින්ගෙන් සිදුවන කරදර එන්න එන්නම වැඩිවෙලා තියෙනවා. ලංකාවේ සියලුම මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් මෙහෙට ඇවිත් මොනවාද සිදුවන්නේ කියලා හොඳට හොයලා බැලුවොත් හොඳයි. නැතිනම් අලින්ගෙන් සිදුවන මරණ දවසින් දවස වැඩිවෙන්න පුළුවන්.

අලින්ගෙන් මිනිහෙකුට කරදරයක්‌ වුණොත් කවුරුත් නෑ. අලි වෙඩි නැහැ. නිලධාරීන්ට වැටුප ලැබෙනවා. අපිට ජීවිත නැතිවෙනවා. රටේ අනෙකුත් ප්‍රශ්නවලට දේශපාලන බලවතුන් විසඳුම් දෙනවා අලි ගහන එකට විසඳුමක්‌ නැත්තේ ඇයි කියලා රජයෙන් අපි ප්‍රශ්න කරනවා.

වෙහෙරගල අංක 305 පදිංචි ටී. ටී. ගුණසේකර මහතා- මේ ප්‍රදේශයට අලි ගෙනැවිත් දාලා තියෙනවා. මිනිසුන්ගේ ජීවිත දැන් විශාල අනතුරකට පත්වෙලා තියෙනවා. ළමයෙකුට පාසල් යන්න බැහැ. ගොවිතැනක්‌ කර ගන්න බැරි තරමට අලි ප්‍රශ්න උග්‍රවෙලා තියෙනවා. වනජීවී නිලධාරීන් දෙන්නෙක්‌ හිටියා. එක වාහනයක්‌ දීලා අලි වෙඩි තුවක්‌කු නැතිව එම නිලධාරීන් සිටින බවත් වනජීවී නිලධාරීන්ට දොස්‌ කියන්න බැහැ. මොකද ඒ අයත් තමන්ගේ ජීවිත අලින්ගෙන් බේරා ගන්න ඕනෑ. යුද්ධයට වැඩිය අලින්ගේ ප්‍රශ්නය අද වැඩිවෙලා තියෙනවා.

මහවැලි සී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු රංජිත් පෙරේරා මහතා- අලින්ගේ පහර දීමකින් මියගිය අයගේ ජීවිත නැතිවීම පිළිබඳ ලොකු ඛේදවාචකයක්‌ මෙහි තිබෙනවා. සියලුම මහවැලි නිලධාරීන් සමග මා පුදුම විදියට මරණය ගැන ශෝක වෙනවා. මහවැලි සී කලාපයේ ගොවි ජනතාව අලින්ගෙන් මියයැම දරාගන්න අමාරුයි. මහවැලි කොට්‌ඨාස කළමනාකරුවන් ඒකක කළමනාකරුවන් ගොවි සංවිධාන නිලධාරීන් සමග අලි ප්‍රශ්නයට පුදුම විධියට විසඳුම් ලබාදී ජනතාවට සහන දෙන්න උත්සහ කරනවා.

No comments:

Post a Comment