Wednesday, September 7, 2016

ඔබේ නිශ්ශබ්දතාව ඇතුළේ කියැවීමක් තියෙන්න ඕනා - නිශ්ශංක විජේමාන්න

විශේෂාංග - ලිවිසැරිය
ඔබේ නිශ්ශබ්දතාව ඇතුළේ කියැවීමක් තියෙන්න ඕනා
07 සැප් 2016
කාංචනා අමිලානි සුසන්ත විජයගුණසේකර
නිශ්ශංක විජේමාන්න
'තිත්ත සීනි' කෙටිකතා සංග්‍රහය සමඟ සාහිත්‍ය ක්ෂේත්‍රයට සපැමිණි නිශ්ශංක විජේමාන්න, ශ්‍රී ලාංකේය කෙටිකතාවට අලුත් මුහුණුවරක් ලබා දුන්නෙකි. 2010 වසරේ හොඳ ම කෙටිකතා සංග්‍රහය ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඇතුළු සියලු ම සාහිත්‍ය සම්මාන දිනා ගනු ලැබූයේ ඔහුගේ මුවා මැරූ සලමන්' වැලන්ටයින් කුමාරයා සහ තාරා මගේ දෙව්දුව යන ඔහු විසින් විරචිත නවකතා ද්විත්වයයි. 'හඳ පළුව තනි තරුව' ඔහුගේ අභිනව නවකතාවයි. මේ හෘද සංවාදය ඒ නිමිත්තෙනි.
'වැලන්ටයින් කුමාරයා'ගේ සිට 'තාරා මගේ දෙව්දුව' පසුකර 'හඳ පළුව තනි තරුව' වෙත එනකොට අධි යථාර්ථවාදී කතා කලාවේ සිට ඔබ සාම්ප්‍රදායික කතා කලාවටම මාරු වෙලා කියලා මම චෝදනා කළොත් ?
අධි යථාර්ථවාදී ශෛලිය කියන එක ශෛලියම විතරක් නෙවෙයි. ඒක ආකෘතියක්. කතාව ඉල්ලන ආකෘතිය අධි යථාර්ථවාදී වෙන්නත් පුළුවන්. යථාර්ථවාදී වෙන්නත් පුළුවන්. මේ කතාවෙත් යථාර්ථවාදීම නෙවෙයි. යථාර්ථවාදය බිඳගෙන යන ක්‍රමවේදයක් දක්නට ලැබෙනවා. මම පිකෑසෝ රියැලිසම්වල සිට පියුබිසම්වලට ධාවනය යන අතරේ යථාර්ථවාදයට නැවත එනවා. ඒ විදිහෙ අන්තර්ධාවනයක් මේ ඇතුළේ සිද්ධ වෙනවා. මේ මොහොතේ කතාව විසින් ඉල්ලා සිටින දේ තමයි මම ලබා දෙන්නේ.
වර්තමාන පාඨකයා ලේඛකයාට වඩා ඉදිරියෙන් හෝ ඒ හා සමගාමීව ගමන් කරන පෙනුමක් තමයි වර්තමානයේ දකින්න ලැබෙන්නේ. මේ වාතාවරණය ඇතුළේ පාඨකයා දිනා ගැනීම තරමක් අපහසුයි නේද? එහෙව් පාඨකයාව දිනා ගැනීමට ඔබට මොකක් හරි සැලැසුමක් තියෙනවද?
ලේඛකයෙක් විදිහට මගේ ක්‍රමවේදය සහ උපක්‍රමය නම් සවන් දෙන්නෙක් හදා ගැනීමයි. ඒ වෙනුවෙන් සවන් දීමේ ක්‍රමෝපායයන් හොයාගැනීමේ ක්‍රමවේදයක් මට තියෙනවා. යමක් කියන්නට තියෙනවා. ඔවුන් අහන්නෑ. ඒ වෙනුවෙන් මම කරන්නෙ කුමන දේද? මගේ පරීක්ෂණය මොකක්ද කියන එක අත්හදා බැලීම තමයි මම කරන්නේ.
මට සැලැසුමක් තියෙනවා. මේ මොහොතේදී මම භාවිත කරන ක්‍රියාවලිය තමයි කතන්දර කීම. පුරාතන සාහිත්‍යයේ ලක්ෂණයක්නෙ ඒක. කතන්දර කියැවීමේ ක්‍රියාවලිය පවත්වගෙන යාමයි පුරාතනයේ ඉඳන් සිද්ධ වුණේ. 'හඳ පළුව තනි තරුව' ඇතුළේ ඔය කියන ගම්මානය පුරා වගා දිගා වෙන කතන්දර ඇතුළෙන් බොහොම ප්‍රමාණයක් මම එක්කහු කර ගන්නවා. මේ පොතේ ඇතුළේම තියෙන්නේ කතන්දර කීමේ සම්ප්‍රදායක්.
ජනකතාකරුවාගෙන් කතාව අසා ගත් ස්ත්‍රිය තමයි කතන්දරය කියන්නේ. එතකොට මේ කතාව කීමේදී ඇය යම් ප්‍රමාණයකින් කතන්දරය ඇය බවට පත් කර ගන්නවා. එයට ඇතුළු කර ගන්නවා ප්‍රේමය නමැති දේ. සෑම විටෙකම කතන්දරයකට ප්‍රේමය එක්කහු කරගෙන තමයි කියන්න පටන් ගන්නේ. ඒ ප්‍රේමය සරලව පුරුෂයකු හා ස්ත්‍රියක අතර ඇතිවන දෙයක්මත් නෙවෙයි. ඊට වඩා එහායින් යන මානව ප්‍රේමයක් පිළිබඳ ඉඟි ප්‍රකාශ කරමින් තමයි මේ කතාව ගලා යන්නේ.
ඒක තමයි මගේ පරීක්ෂණයේ ක්‍රමවේදය. එහෙමත් නැත්නම් මගේ සැලැසුම.
'හඳ පළුව තනි තරුවෙ' නිශ්ශංක විජේමාන්නත් ඉන්නවා. තමන්ගේ නවකතාවේ තමන්වම චරිතයක් කිරීමට පෙලඹුණේ ඇයි? මේ යම් හැඟවුම්කාරකයක්ද?
මම නෙවෙයි ඒ ඉන්නේ, නිශ්ශංක විජේමාන්න කියලා තව කවුරු හරි මනුස්සයෙක් ඉන්න පුළුවන්. නිශ්ශංක විජේමාන්න කියන ලේඛකයා හා එසේ නොවන කෙනා අතරේ තියෙන වෙනස්කම කාට හරි හොයා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලේඛකයා විසින් ලේඛකයාවම කතාවක චරිතයක් කරන්න පෙලඹෙන්නෙ නැහැනේ. අනිත් එක මේක ප්‍රධාන චරිතෙකුත් නෙවෙයි. මේ චරිතෙට කතාව ඇතුළේ විශාල අගයක් නැහැ. මම ඒක යම් පරීක්ෂණයක් විදිහටයි මං කළේ. කතුවරයා නොවන හෝ ඔහුගේම සන්නාමය දරන පුද්ගලයා එතන ඉන්නවා. ඒත් ඔහු කතාවට කිසි බාධාවක් කරන්නෙ නැහැ. ඔහු විසින් යම් උත්ප්‍රේරණයක් සපයනවා. ඔහු විසින් කතාව කරකවන්නෙ නැහැ. ඔහු ඉන්නවා පමණයි. ඔහු දොරවල් අරින්න යන්නෙ නැහැ. ඔහු ළඟ යතුරක් නැහැ . ඔහු ඔහේ එක තැනක ඉන්නවා. ඒ විදිහට ඕන කෙනකුට කතාවක් ඇතුළේ ඉන්න පුළුවන්. ඒක මහා බරපතළ දෙයක් නෙවෙයි.
ඒත් ඇයි එහෙම දෙයක් කළේ?
'බස් කරත්තය දැක්කූ මිනිසා' කියන කෙටි කතාව ලියන්නේ නිශ්ශංක විජේමාන්න කියන ලේඛකයා. ඒ කියන්නෙ මේ ඔයා ඉස්සරහා ඉන්න මං තමයි ඒක ලියලා තියෙන්නේ. මේ අනිල් කියන කෙනා තමයි රහස් එළි කරන්නේ. තව පාරක් කියවන කොට අනිල් හා අනිල්ගෙ ගුරුවරයා, සත්‍යා සහ නිශ්ශංක විජේමාන්න සහ ඒලාබ්දීන් අතර කුමක් හරි අපි නොදන්නා දෙයක් ධාවනය වෙනවා කියලා දැනෙනවා. ඒ නිසා නිශ්ශංක විජේමාන්න එතන ඉන්නවා. එච්චරයි කියන්න තියෙන්නේ. මම හිතන්නේ ඔයා ඒක කියවලා හොයාගන්න ඕනා දෙයක් කියලයි.
මේ විදිහට ඔබ නිරීක්ෂණය කරපු අලුත් ලේඛක, ලේඛිකාවෝ කවුද?
නම් වශයෙන් කියන එක හොඳද මන්දා. ගයානි අසිංසලා, එච්.පී.ගුණරත්න, මා වඩාත්ම කැමැති , තවම වඩාත් ලොකු අවකාශයක් ගත්තෙ නැති තරංගා රණසිංහ, ඩිල්මා තුෂාරි කොග්ගලගේ, ජස්ටින් පියරත්න. ඒ හැරුණු විට තව ගොඩක් ඉන්නවා. ඉඳහිට මේ අයගේ නිර්මාණ කියවනකොට ඔවුන්ගේ ප්‍රතිභාව පේනවා. අපි කවුරුත් ඉන්නේ සුළු අවකාශයක් තුළනේ. ශ්‍රී ලංකාවෙ විචාරකයෝ ඉන්නෙත් ඒ වගේම පොඩි අවකාශෙක. ඉතිං මේ නව ලේඛක, ලේඛිකාවෝ ගැන පත්තරවල කිසි තැනක වැටෙන්නෑ. ඔවුන් නිකන්ම ඉන්නවා.
ඒ තරුණ ලේඛක, ලේඛිකාවන්ට එහෙම නිකන්ම ඉන්න දීම මහත් අපරාධයක් නේද? ඔවුන් සිටින මේ චූල සාහිත්‍ය ලෝකයෙන් මහා සමාජයට ගෙන ඒමට යම් වැඩපිළිවෙළක් යෝජනා කරන්න පුළුවන්ද?
අපි පටන් ගත්තා ඌව රාජ්‍ය සාහිත්‍ය උත්සවය කියලා එකක්. ඒකට අනුග්‍රහය දක්වන්නේ රජය . ඌව පළාතේ තරුණ ලේඛකයන් ලියන්නේ මොනවද? ඔවුන් අගයන්නේ කොහොමද කියලා අපි බොහොම උනන්දුවෙන් බලාගෙන ඉන්නවා . සාහිත්‍ය උත්සවය යම් ප්‍රමාණෙකින් සාර්ථකයි. ඒත් තවම විවේචන බොහොමයක් තියෙනවා . ඌව රාජ්‍ය සාහිත්‍ය උළෙලින් තමයි එච්.පී. ගුණරත්න පවා එළියට ආවේ. ස්වර්ණ පුස්තක අවසන් වටයට තේරුණ 'හිතුවක්කාරී' ඔහුගේ නවකතාවක්. ඌව රාජ්‍ය සාහිත්‍ය උත්සවයට ඒ පොත් තේරුණාට පස්සෙ තමයි ස්වර්ණ පුස්තකවලට නිර්දේශ වුණේ. මම හිතන්නේ ඒක වාසි සහගත තත්ත්වයක්. කුඩා දූපත්වලදී මෙහෙම ඇගැයීමට ලක් කරනවා නම්, ඒක ඉතා හොඳයි. ඒක එක ක්‍රමයක් විතරයි. හැබැයි මම කියන්නෙ නෑ ඒක තමයි පරම ක්‍රමය කියලා. චින්තක රණසිංහ අපි නොදන්නා ලේඛකයන්ගේ කෘති අගයමින් ලිපි ලියනවා. ඒක හොඳ ප්‍රවණතාවක්. ස්තූති කළ යුතු දෙයක්. බොහෝ විචාරකයන්, යහළුවන්, මිත්‍රයන් සහ මහා අනෙකා ගැන තමයි නිතරම අගයන්නේ. නැවත, නැවත කතා කරන්නේ.
http://www.dinamina.lk/?q=2016%2F09%2F07%2F22032

No comments:

Post a Comment