Wednesday, January 14, 2015

ඌවේ නව මහ ඇමති හරීන් ප‍්‍රනාන්දු දිවුරුම් දෙයි.

14 JANUARY 2015 - 13:15

මෙතෙක් ඌව පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළ හරීන් ප‍්‍රනාන්දු අද (14) එහි මහ ඇමතිවරයා වශයෙන් දිවුරුම් දුන්නා. ඒ, ඌව පළාත් ආණ්ඩුකාර නන්ද මැතිව් ඉදිරියේයි. පළාත් සභාවේ බහුතරය විපක්ෂය සතුව පවතින බැවින් මහඇමතිවරයා ලෙස දිවුරුම් දීමට ආණ්ඩුකාරවරයා තමන්ට ආරාධනා කළ බව හරීන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රිවරයා ප‍්‍රකාශ කළා.

12ක්ව පැවැති ඌව පළාත් සභාවේ විපක්ෂ මන්ත‍්‍රී සංඛ්‍යාව 18 ක් දක්වා ඉහළ ගියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරුන් 6 දෙනෙකු දිවුරුම් ප‍්‍රකාශ මගින් විපක්ෂයට සහාය පළ කිරීමත් සමගයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඌව පළාත් සභා අමාත්‍ය අනුර විදානගමගේ මෙන්ම වඩිවේල් සුරේෂ්, ඒ.එම්. බුද්ධදාස, හරේන්ද්‍ර ධර්මදාස බණ්ඩා, සෙනරත් අත්තනායක සහ තිස්ස කුට්ටිආරච්චි යන මන්ත‍්‍රීවරුන් එම පිරිස අතර වනවා. මින් පස්දෙනෙකු ඊයේ දිනයේ දිවුරුම් ප‍්‍රකාශ ලබාදී තිබූ අතර ඒ.එම්. බුද්ධදාස මන්ත‍්‍රිවරයා දිවුරුම් ප‍්‍රකාශ ලබාදී තිබුණේ අදයි. පසුගියදා විපක්ෂයේ සිට සන්ධානයට එක්වූ තිස්ස කුට්ටිආරච්චි මන්ත‍්‍රීවරයාද මේ අතර සිටීම විශේෂත්වයක්. ඒ අනුව 20ක්ව පැවැති සන්ධාන මන්ත‍්‍රී ධුර සංඛ්‍යාව 14 දක්වා අඩු වී තිබෙනවා.

පසුගිය පළාත් සභා ජන්ද විමසීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්තී‍්‍ර ධූර 19ක්, එක්සත් ජාතික පක්ෂයට 13ක් සහ ජනතා විමුක්ති පෙරමුණට මන්තී‍්‍ර ධූර 02ක් හිමි වුණා.  තිස්ස කුට්ටිආරච්චි මන්ත‍්‍රිවරයා පසුගියදා විපක්ෂයේ සිට ආණ්ඩුවට එක්වීමත් සමගයි සන්ධාන මන්ත‍්‍රී ධුර සංඛ්‍යාව 20 ක් බවට පත්වුණේ. කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරුන් දෙදෙනා පළාත් සභාව තුළ තවදුරටත් ස්වාධීනව කටයුතු කරනවා.




No comments:

Post a Comment