Wednesday, January 14, 2015

දැන් හරියටම හරි - ඌවටත් දින 100ක වැඩපිළිවෙළක්

2015-01-14 18:17:18 

ඌව පළාත් සභාවේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අද ගිලිහී ගියා. ඒ, එම පළාත් සභාවේ මෙතෙක් විපක්ෂ නායක ලෙස සිටි හරීන් ප‍්‍රනාන්දු මහතා මහඇමති ලෙස අද දිවුරුම් දීමත් සමගයි.

පළාත් ආණ්ඩුකාර සී. නන්ද මැතිව් මහතා ඉදිරියේ ඔහු පස්වරුවේ දිවුරුම් දුන්නා. අනතුරුව මාධ්‍යයට අදහස් දැක් වූ හරීන් ප‍්‍රනාන්දු මහතා පැවසුවේ එදා තම මැතිවරණ සටන් පාඨය දැන් සම්පූර්ණයෙන් යථාර්ථයක් වී ඇති බවයි.

ඌව පළාත් සභාවේ මන්ත‍්‍රී ආසන ගණන 34ක්. වත්මන් පළාත් සභාව පිහිටුවන අවස්ථාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට 19ක්, එක්සත් ජාතික පක්ෂයට 13ක් සහ ජනතා විමුක්ති පෙරමුණට මන්ත‍්‍රී ආසන 2ක් හිමිව තිබුණා.

කෙසේවෙතත් අනුර විදානගමගේ, මන්ත‍්‍රී හරීන්ද්‍ර ධර්මදාස, සෙනරත් අත්තනායක සහ වඩිවේල් සුරේෂ් යන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරුන් දිවුරුම් ප‍්‍රකාශ මගින් සිය සහාය හරීන් ප‍්‍රනාන්දු මහතාට ලබාදුන්නා. එක්සත් ජනතා නිදහස් සන්‍ධානයට දැන් හිමිව තිබෙන මන්ත‍්‍රී ආසන ගණන 15ක් පමණයි. ඒ අනුව විපක්ෂ නායකත්වය ඉසුලූ එක්සත් ජාතික පක්ෂයේ හරීන් ප‍්‍රනාන්දු මහතාට සහාය දෙන මන්ත‍්‍රීවරුන් ගණන 17 දෙනෙකු දක්වා වැඩි වුණා.

ඉන් අනතුරුවයි ඔහුට ප‍්‍රධාන අමාත්‍ය ධුරය හිමිවුණේ. වත්මන් ජනාධිපතිවරයාගේ දින සියයේ වැඩපිළිවෙළ ඌව පළාත් සභාවේ ද කි‍්‍රයාත්මක කරන බව හරීන් ප‍්‍රනාන්දු මහතා සඳහන් කළා.

No comments:

Post a Comment