Friday, May 8, 2015

මහියංගණ රාජ මහා විහාරයේ විහාරාධිපති අස්ගිරි මහා නාහිමි පදවියට


2015 මැයි මස 08 16:06:14
සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ නව මහා නායක ලෙස ගලගම අත්තදස්සී අනුනායක හිමියෝ (95) අස්ගිරි කාරක සංඝ සභාව විසින් ඒකඡන්දෙන් අද පත්කර ගනු ලැබූහ.
මහා නායක පදවිය සඳහා වෙනත් හිමි නමක් ඉදිරිපත් නොවීම නිසා අත්තදස්සී හිමියන් ඒකමතිකව පත් කර ගත් බව අස්ගිරි කාරක සංඝ සභාව නිවේදනය කරයි.
නව මහා නායක හිමියෝ පිච්චමල් බඳුනක් දොහොතින් රැගෙන මහ පිළිම වහන්සේට පූජා කර තෙරුවන් පිදූහ. එය නව මහ නා හිමියන්ගේ මුල්ම චාරිත්‍රය විය.
ඒ හිමියන්ගේ පුරප්පාඩුවෙන් හිස් වූ අනුනායක ධුරය පසුව පිරවීමට නියමිතය.
කුලතුංග මුදියන්සේලාගේ ඩිංගිරි බණ්ඩා නිළමේතුමා හා තෙන්නකෝන් මුදියන්සේලාගේ පිංචි අම්මා කුමාරිහාමි මහා නාහිමියන්ගේ මවුපියෝ ය.
කුලතුංග මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා යන නමින් 1922 වසරේ ජනවාරි 11 වැනි දින මාතලේ දිස්ත්‍රික්කයේ අස්ගිරි පල්ලේසිය පත්තුවේදී එතුමෝ උපත ලදහ.
මාතලේ යටවත්ත වීරපරාක්‍රම මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ එතුමෝ 1936 වසරේදී උඩුරාවණ ශ්‍රී ධම්මානන්ද නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවැදි දිවියට ඇතුළු වූහ.
1937 දී මාතලේ ශ්‍රී ධර්මාරාජ පිරිවෙණෙන් අධ්‍යාපනය ලදහ. 1942 දී අස්ගිරි මහා විහාරයේදී උපසම්පදාව ලැබූහ.
1947 දී පාලි, දෙමළ හා සංස්කෘත විෂයයන් වලින් විශිෂ්ට සාමාර්ථ ලද උන්වහන්සේ ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම හා අවසාන වසරේ පණ්ඩිත උපාධියද හිමිකරගත්හ.
විද්‍යොදය පිරිවෙනේ ත්‍රිපිටක ධර්ම පරීක්ෂණාගාරයේදී සද්ධර්මාචාර්ය උපාධියද 1950 වසරේදී අභිනවාචාර්ය උපාධියද, ත්‍රිපිටකාචාර්ය උපාධිය ද හිමි කර ගත් එතුමෝ 1982 වසරේදී වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැටියගනේ රාජමහා විහාරාධිපති ධූරයට පත්වූහ.
උන්වහන්සේ ඓතිහාසික මහියංගණ රාජ මහා විහාරයේ විහාරාධිපති තනතුරටද පත්වූහ. 1999 වසරේ දෙසැම්බර් 13 දින ඵෙතිහාසික අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක ධූරයට පත්වූහ.
විද්‍යාලංකාර පිරිවෙණ මගින් ස්ථවිර වංශාලංකාර ශාසන සෝභන ගෞරව උපාධියද උන්වහන්සේට පිරිනැමීය.

No comments:

Post a Comment