Wednesday, August 14, 2013

ගුරු හිඟයට විසඳුම් ඉල්ලා - හඳුන්ගමුව විදුහලේ සිසු උපවාස


මාර්තු 05
මාතලේ - විශේෂ නිමල් ගුණතිලක

ගුරු හිඟයට කඩිනමින් විසඳුමක්‌ ඉල්ලා ලග්ගල හඳුන්ගමුව විද්‍යාලයේ සිසුහු ඊයේ (04 දා) විද්‍යාලය ඉදිරිපිට සාමකාමී උපවාසයක්‌ ආරම්භ කළහ.

විද්‍යාලයේ පවතින උග්‍ර ගුරු හිඟයට විසඳුමක්‌ ඉල්ලමින් පසුගිය මාසයක්‌ පුරා සිසුන් පන්ති වර්ජනය කරමින් සාමකාමී උද්ඝෝෂණ කළත් අධ්‍යාපන බලධාරීන් විසඳුමක්‌ නොදී විදුහල්පතිවරයා උප ගුරුවරයකු ලෙසට වෙනත් පාසලකට අනුයුක්‌ත කර ඇතැයි ඔවුහු චෝදනා කරති.

ගුරු හිඟයට සාධාරණ විසඳුමක්‌ හා හිටපු විදුහල්පතිවරයා නැවත ලබාදෙන ලෙස ඉල්ලා දිගටම උපවාසයේ යෙදෙන බව එම සිසුහු පවසති. විද්‍යාලයේ සිසුන් 800 ක්‌ පමණ අධ්‍යාපනය ලබන අතර උපවාසයට සිසුහු 25 ක්‌ පමණ එක්‌වී සිටිති. සිසුහු 400 ක්‌ පමණ පන්තිවලින් බැහැරවී සිටින බවද කියති.

මේ පිළිබඳ පාසල් ශිෂ්‍යයකුගේ පියකු වන ඒ. එම්. ආනන්ද අබේකෝන් මහතා සඳහන් කළේ මේ විද්‍යාලයේ තත්ත්වය පිළිබඳව අධ්‍යාපන බලධාරීන් දැනුවත් කළත් අද වන තුරුත් සාධාරණ තීරණයක්‌ ලබාදී නැති බවයි.

තම දරුවන්ගේ අවශ්‍යතාවට පිළියම් නොයොදා විදුහල්පතිවරයා මාරුකර වැඩ බලන විදුහල්පතිවරයකු පත් කිරීමෙන් පසුව සිසුන්ගේ අධ්‍යාපනයට තර්ජනය කිරීම් උග්‍ර වී ඇති බවද හෙතෙම පැවසීය.

විද්‍යාව, ගණිතය, සෞන්දර්ය, තාක්‍ෂණය, ප්‍රාථමික ඇතුළු විෂයන් කීපයකට පවතින ගුරු හිඟය 12 ක්‌ පමණ වේ.

මේ පිළිබඳව විමසීමට විල්ගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ හැරිස්‌ අලගොඩ මහතා රාජකාරියක්‌ සඳහා පිටව ගොස්‌ ඇති බව වෙනත් නිලධාරියෙක්‌ පවසා සිටියේය.

No comments:

Post a Comment