Thursday, March 24, 2016

පොල් ගහමුද? මිරිස් අඹරමුද?

http://mawbima.lk/80-108124-news-detail.html

පොල් ගහමුද? මිරිස් අඹරමුද?

උෟව පළාත් මහ ඇමැති සම්පත් දසනායක සීනිගම දෙවොල් දේවාලයට ගොස් මිරිස් ඇඹරුවේය. ඒ උෟව පළාත් සභාවේ ජවිපෙ මන්ත්‍රි සමන්ත විද්‍යාරත්නට එරෙහිවය. මහ ඇමැතිවරයා මෙලෙස මන්ත්‍රිවරයා සමඟ වෛර බැඳගෙන ඇත්තේ උෟව පළාත් සභාවේ 'මුදල්' පෞද්ගලික බැංකුවක ගිණුමකට බැර කිරීමෙන් රජයේ මුදල් අවභාවිත කළා යැයි මන්ත්‍රි විද්‍යාරත්න කළ චෝදනාව හේතුවෙනි. මහ ඇමැති දසනායක ප්‍රකාශ කර ඇත්තේ ඔහුට කළ බොරු චෝදනාවෙන් ගැලවීමට අධිකරණයේ පිහිට නොපැතුවේ 'තීන්දුව' ප්‍රමාද වන නිසා බවය. දෙවොල් දෙවියන්ගේ තීන්දුව අප්‍රමාදව ලැබේවි යන්න මහ ඇමැතිගේ විශ්වාසයයි.
Mawbima, 2016-03-24 02:00:00
Read 80 Times
උෟව පළාත් මහ ඇමැති සම්පත් දසනායක සීනිගම දෙවොල් දේවාලයට ගොස් මිරිස් ඇඹරුවේය. ඒ උෟව පළාත් සභාවේ ජවිපෙ මන්ත්‍රි සමන්ත විද්‍යාරත්නට එරෙහිවය. මහ ඇමැතිවරයා මෙලෙස මන්ත්‍රිවරයා සමඟ වෛර බැඳගෙන ඇත්තේ උෟව පළාත් සභාවේ 'මුදල්' පෞද්ගලික බැංකුවක ගිණුමකට බැර කිරීමෙන් රජයේ මුදල් අවභාවිත කළා යැයි මන්ත්‍රි විද්‍යාරත්න කළ චෝදනාව හේතුවෙනි. මහ ඇමැති දසනායක ප්‍රකාශ කර ඇත්තේ ඔහුට කළ බොරු චෝදනාවෙන් ගැලවීමට අධිකරණයේ පිහිට නොපැතුවේ 'තීන්දුව' ප්‍රමාද වන නිසා බවය. දෙවොල් දෙවියන්ගේ තීන්දුව අප්‍රමාදව ලැබේවි යන්න මහ ඇමැතිගේ විශ්වාසයයි.

අතිශය ග්‍රාම්‍ය කටයුත්තක් වන සිය සතුරාගේ විනාශය පතා ගම්මිරිස් ඇඹරීම ශිෂ්ට සමාජයේ පිළිකුලට ලක්වන්නකි. දේවාලවලට මිනිසුන් යන්නේ මානසික සහනය හා ශක්තිය ලබාගැනීම සඳහාය. පොල් ගසන්නේද ඒ වෙනුවෙනි. බොහෝ දේවාලවල පොල් ගැසීමට වෙනම ස්ථානයක් වෙන්කර ඇත. මිරිස් ඇඹරීමට ඇතැම් දේවාලවල ස්ථානයක් පිළියෙල කර ඇත්තේ අනුන්ගේ 'විනාශය' ප්‍රාර්ථනා කරන්නන් උදෙසාය. සිය සතුරාගේ විනාශය පතා ගම්මිරිස් ඇඹරීමට ප්‍රසිද්ධ දේවාල හා කෝවිල් කිහිපයක් මෙරට තිබේ. හික්කඩුව 'සීනිගම දෙවොල් දෙවොල' ඉන් එක් ස්ථානයකි.

උෟව පළාත් මහ ඇමැතිවරයා බදුල්ලේ සිට මහජන මුදල් වැයකරමින් හික්කඩුවට පැමිණියේ සීනිගම දෙවොල් දේවාලේ මිරිස් ඇඹරීමෙන් සතුරාගේ විනාශය නියත බව ඔහුට විශ්වාස නිසාය. මහ ඇමැතිවරයා මිරිස් අඹරා, පොල් ගසා දේව කන්නලව්වක්ද කර පෙරළා ගියද විපක්ෂයේ 'මහින්දවාදී' කණ්ඩායම සීනිගමින් ඇරැඹූ පොල් ගැසීමේ ව්‍යාපාරය තවමත් අවසන් කර නැත. මෛත්‍රි-රනිල් ආණ්ඩුවට හා එෆ්.සී.අයි.ඩී.යට එරෙහිව දේවාල, කෝවිල් සොය සොයා ගොස් ඔවුහු පොල් ගසති.

ඉකුත් සතියේ රාජපක්ෂවාදීහු පිරිසක් හා එජාප පාක්ෂිකයෝ පිරිසක් එකම දිනයේ හලාවත මුන්නේශ්වරම් හින්දු කෝවිලට ගොස් 'පොල්' ගැසූහ. මහින්දවාදීන් පොල් ගැසුවේ මෛත්‍රි-රනිල් ආණ්ඩුව භංගවේවා කියාය. ආණ්ඩුව ආරක්ෂා කර දෙන්නැයි ඉල්ලා එජාප පාක්ෂිකයෝ පොල් ගැසූහ. මේ දෙපාර්ශ්වයම මුග්ධයෝ වෙති. ආණ්ඩු රැකීම හෝ කැඩීම කළ හැක්කේ දෙවියන්ට නොව ජනතාවටය. පවරා දුන් බලය ආපසු ගැනීමේ 'බලය' ඇත්තේද ජනතාවටය. ඒ 'කතිරය' පාවිච්චි කිරීමෙනි. අනෙක, ආණ්ඩුව රැක දෙන්නැයි කියා පොල් ගැසිය හැකි වුවද ආණ්ඩුව භංග කිරීමට නම් කළ යුත්තේ උෟව මහ ඇමැතිවරයා කළා සේ ගම්මිරිස් ඇඹරීමය. එහෙත් හිටපු මැති-ඇමැතිවරුන් ගම්මිරිස් ඇඹරීමට නොයන්නේ ඔවුන් මෝඩයන් ලෙස සලකාවි යැයි බියවීම නිසාය. ඒ නිසා ඔවුන් සතුරන් විනාශ කිරීමට යොදා ගන්නා ගම්මිරිස් ඇඹරීමට ආදේශකයක් බවට පොල් ගැසීම යොදාගෙන ඇත.

පූජාවට්ටියේ තබාගෙන යන පොල් ගෙඩිය, සුදුවතින් සැරැසුණු මේ ඊනියා ආණ්ඩු විරෝධීන් වෙර යොදා ගලේ ගසන්නේ සතුරාට ශාප කරමිනි. කෑලි කෑලි කැඩී යන පොල් ගෙඩිය සතුරාගේ හිස යැයි සිතන ඔවුහු ඉන් කුරිරු සතුටක් ලබති.
විපක්ෂයේ 'මහින්දවාදීන්' අතර සිටින ප්‍රමුඛයකු වන මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මෑතකදී ප්‍රකාශ කර තිබුණේ නිවෙස්වල ළිප් ගල, මිරිස් ගල වැනි ස්ථානවල පවා දෙවියන් වැඩසිටින බවය.

මධ්‍ය පාන්තික නිවෙස්වල ළිප්ගල් නැති නිසා ගෑස් ළිප, විදුලි ළිප, බ්ලෙන්ඩරය උඩ වුවද දෙවියන් වැඩ සිටිනවා ඇත. මන්ත්‍රි ගුණවර්ධන ජනතාවට උපදෙස් දී ඇත්තේ කෙම්මුර දවස් 7ක් පේවී හිඳිමින් 'යහපාලනය' භංග වේවා කියා පොල් ගසන ලෙසය. ඔහුට මේ උපදෙස් දෙන්නට ඇත්තේ ශක්‍රයාගේ පුතා වයිමා විය යුතුය. රුපියල් 2,500කින් මාසයක් ජීවත්වන පවුල් මන්ත්‍රිවරයාගේ ඉල්ලීමට අනුව දිනපතා වුවද පොල් ගැසීමට ඉඩ ඇත. හිටපු ආර්ථික විද්‍යා ගුරුවරයකුද පොල් ගැසීමට යන්නේ නම් සෙස්සන් ගැන කවර කතාද?

පොල් ගැසීම, ගම්මිරිස් ඇඹරීම, ශාප කිරීම, හදිහූනියම් කිරීම, බුදු දහම මෙරට ස්ථාපිත වීමට පෙර සිටම තිබූ අභිචාරාත්මක ක්‍රියාකාරකම්ය. ථෙරවාදී බෞද්ධාගමිකයන් බහුතරයක් සිටින සමාජයක වුවද එවැනි ක්‍රියා තවමත් නොනැසී පවතී. ඉකුත් ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයාගේ රූපය මැටියෙන් අඹා එයට කටු ගසා හූනියම් කළ බවට දූසමාන ආරංචි පැතිර ගියේය. පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන නාමයෝජනා භාරදුන් අවස්ථාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂට අතට අත නොදුන්නේ ජනාධිපතිවරයාගේ අතේ මැතිරූ තෙල් වර්ගයක් ගල්වාගෙන සිටි නිසා බවද කියැවිණි. ජනාධිපතිවරණයට දින නියම කළේද ජේ‍යාතිෂ උපදෙස් මත බව ජනප්‍රිය කතාවකි. 'පරාජය' සාධාරණීයකරණය කරමින් පොල් ගසා ශාප කරන්නේ 'යථාර්ථය' පිළි ගැනීමට ඇති අකමැත්ත නිසාය. තමන්ට කරගත නොහැකි පළි ගැනීම දෙවියන් හරහා හෝ කරගැනීමටය.

ප්‍රශ්නවලට 'විසඳුම්' නොලැබෙන විට හිතේ සහනයට ජනතාව දෙවියන් යකුන්, ප්‍රේතයන් වැනි අදෘශ්‍යමාන බලවේග සරණ ගියද ජනතාවගේ ප්‍රශ්නවලට භෞතික විසඳුම් සෙවීමට බලය ඉල්ලා ගත් මහජන නියෝජිතයන් මෙලෙස හැසිරෙන්නේ මෝඩකමටය. නැතිනම් තක්කඩිකමටය. නොඑසේ නම් මේ දෙකම නිසාය.
ශිෂ්ට සමාජය, ගෝත්‍රික යුගයේ මෙන් සතුරන්ගෙන් වෛරී ලෙස පළිගන්නේ නැත. සාධාරණය පතා යෑමට සුදුසු ආයතන ශිෂ්ට සමාජය සකස් කරගෙන ඇත.
නීතියෙන් යුක්තිය ඉටු කරගැනීමට ඕනෑම අයකුට නිදහස තිබේ. අධිකරණයෙන් යුක්තිය ඉටු නොවන්නේ නම් දේශීය මෙන්ම විදේශීය වශයෙන් ක්‍රියාත්මක වන තවත් ආයතන ඇත. එසේ තිබියදී සාධාරණය යුක්තිය ඉටුකර ගැනීමට ගෝත්‍රිකයන් මෙන් 'දේවාල' ගානේ ගොස් මිරිස් අඹරන, පොල් ගසන ඊනියා මහජන නියෝජිතයන් සිටින රටක් මෝහාන්ධකාරයට මිස සත්‍ය ලෝකය කරා රැගෙන යා නොහැකිය. මුග්ධයන් පසුපස යමින් අවිද්‍යාව වැලඳ ගන්නවා වෙනුවට විද්‍යාව කරා යෑමට ජනතාව සබුද්ධික විය යුත්තේ එනිසාය.

No comments:

Post a Comment