Sunday, March 27, 2016

සමන්තගේ කතාවෙන් පසු ඌවේ මොනවද වුනේ - සැකෙවින් විස්තරය මෙන්න


ඌව පළාත් සභාවේ මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා පාළාත් සභාවේ නියෝග උල්ලංගණය කරමින් පාළාතට රුපියල් ලක්ෂ 133ක පාඩුවක් සිදු කර ඇති බවට ජවිපෙ පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පසුගියදා ප්‍රසිද්ධියේ සිදු කළ ප්‍රකාශයෙන් ආරූඩ වූ මහ ඇමතිවරයා මිරිස් ඇඹරීම, පොල් ගැසීම, දෙවියන්ට කන්නලවු කිරීම ආදිය සිදු කරමින් සමන්ත විද්‍යාරත්නට එරෙහිව දෙස්දෙවොල් තියන්නට විය. එයට පිළිතුරු දෙමින් සමන්ත විද්‍යාරත්න පවසා තිබුනේ "මහ ඇමතිවරයාට දේවාලගානේ ගොස් මිරිස් අඹර අඹර ඉන්න කියන්න. මේ මුදල් වංචාවට එරෙහිව මම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා" යනුවෙනි. ඒ අප කවුරුත් දන්නා එළියේ සිදු වූ කතාවය.
සමන්ත විද්‍යාරත්න මහතාගේ හෙළිදරව්වෙන් පසු ඊටත් වඩා සිදුවීම් ගණනාවක් පළාත් සභාව ඇතුළේ සිදුවී තිබේ.
ඇතුළේ කතාව මෙසේය. පසුගිය 10වනදා පළාත් සභාව රැස්වී ඇත. මෙහිදී ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පවත්වාගෙන යන ස්ථාවර ගිණුම් 6ක මුදල් එම ගිණුම් කල් ඉකුත්වීමටත් පෙර මුදල් ඇමතිවරයාගේ (මහ ඇමති) වුවමනාව පරිදි ලබා ගැනීමට කර තිබූ සූදානම ගැන සාකච්ඡා කර තිබේ. එම සාකච්ඡාවට මුලපුරා ඇත්තේද ජවිපෙ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න විසින්මය. එම ගිණුම් 6ම ඉවත්කර ගත්තෙනම් පළාතට රුපියල් ලක්ෂ 173 පාඩුවක් සිදුවන බව එහිදී සමන්ත විද්‍යාරත්න විසින් පෙන්වා දී තිබේ. ඉන් පසුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් එක්ව ගිණුම් දෙකක පමණක් මුදල් ලබාගැනීමට සූදානම් වී ඇත. එම ගිණුම් දෙක ඉවත්කරගත්තෙනම් රුපියල් ලක්ෂ 133ක පාඩුවක් සිදුවන බවත් එයද සිදුකිරීමට අනුමත නොකරන ලෙසත් පවසනමින් සමන්ත විද්‍යාරත්න සිය විරෝධය දැඩිසේ ප්‍රකාශ කර තිබේ.
පසුව, හදිසි වැදගත් කමකින් යුත් යෝජනාවක් සභාවේ සාකච්ඡාවට ගැනීම සඳහා සභා රීති අත්හිටුවමින් මන්ත්‍රීවරයෙකුට ලබා ගැනීමට හැකි අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් සමන්ත විද්‍යාරත්න මහතා විසින්ම මේ සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් කර ඇත. (එහි පිටපතක් පහතින් දැක්වේ)
මෙම යෝජනාව ගෙන ඒමට පෙර සභාවේ න්‍යායපත්‍රයට ඇතුළත් කර තිබූ මහ ඇමතිවරයාගේ මූල්‍ය වංචා සම්බන්ධ ප්‍රශ්න කිහිපයක් නිසා එදින (2016.03.10) මහ ඇමතිවරයා සභාවට නොපැමිණ සභාව මග හැර තිබේ. එමෙන්ම විද්‍යාරත්න මන්ත්‍රීවරයා සභා රීති අත්හිටුවමින් ගෙන ආ යෝජනාව සභාවේ සාකච්ඡාවට ගැනීම වැලැක්වීම සඳහා කූඨ ලෙස කටයුතු කර ඇති සන්ධාන-එජාප මන්ත්‍රීවරු සභාවේ ඝන පූර්ණය සම්පූර්ණ නොකිරීමට කටයුතු කර ඇත. සභාපති ඒ.එම්. බුද්ධදාස මහතා, ඝණපූර්ණය නොමැතිව සභාව පවත්වාගෙන යාමට නොහැකි බව දන්වමින් සභාව කල් තැබීමට සූදානම් වනවිට සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ "මහ ඇමතිවරයා පළාතට ලක්ෂ 133ක් පාඩු සිදු කරන්න හදනවා... මේක පළාතට සිදුවන හානියක්... කල් තියන්නෙ නැතුව මන්ත්‍රීවරුන්ව දැනුවත් කරලා නැවත සභාව කැඳවන්න..." යනුවෙනි. එයට එකඟ වූ සභාපතිවරයා තේ විවේකය සඳහා සභාව නතර කර තේ විවේකයෙන් පසුව නැවත සභාව කැඳවා තිබේ.
තේ විවේකය අතර තුර මන්ත්‍රීවරුන් කිහිපදෙනා වශයෙන් මුණගැසී මේ සිදුවීමට යන මහා අපරාධය, මූල්‍ය වංචාව පිලිබඳව මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමුකරවා නැවත සභාව කැඳවන විට ඝණපූර්ණය සහිතව සභාව කැඳවා ගැනීමට සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීවරයා කටයුතු කර ඇත.
විද්‍යාරත්න මහතා එහිදී සිය යෝජනාව ඉදිරිපත් කළ අතර එක්සත් ජාතික පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු ඊට අදාළව කරුණු නොකියා මුණිවත රැකීමට කටයුතු කර තිබෙන අතර සන්ධාන මන්ත්‍රී පාළාත් අමාත්‍ය සාලිය සුමේද පමණක් කරුණු ඉදිරිපත් කර තිබේ. ඔහු පවසා ඇත්තේ " සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීතුමා කියන කාරණය ඇත්තනම් ඒක බරපතලයි. ඒක නිසා මෙම ගිණුම් ඉවත් කරගැනීමට මහ ඇමතිවරයා දරණ උත්සාහය නතර කරන එක හොඳයි..." යනුවෙනි.
ඒ අනුව සමන්ත විද්‍යාරත්නගේ යෝජනාව ඒකත් ඡන්දනෙන් සම්මත වී තිබේ. ඒ අනුව සභාපති ඒ.එම් බුද්ධදාස සභාවේ ප්‍රධාන ලේකම්වරයාට (ගාමිණී රාජකරුණා) මේ බව ලිඛිතව දන්වා ඇත. එම අවස්ථාවේ සභා ලේකම්ගේ වැඩ ආවරණය කරමින් සිටි වැඩබලන ලේකම් රාජදාස මහතා ජාතික ඉතිරිකිරීමේ බැංකුවට ලිඛිතව දන්වා ඇත්තේ එම ගිණුම් ඉවත් කිරීම තාවකාලිකව නතර කරණ ලෙස ය.
කෙසේ නමුත් පසුවදා (2016.03.11) මහ ඇමතිවරයා පැමිණ නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැනවැදී වැඩබලන ලේකම්වරයා මගින් එම මුදල් ලබා ගැනීම සඳහා නැවත ලිපියක් යොමු කර තිබේ‍.
පසුගිය 24වනදා නැවත සභාව රැස්වී ඇති අතර එහිදී මන්ත්‍රීවරුන් සාකච්ඡා කර ඇත්තේ සභාවේ ඒකමතිකව සම්මත වූ යෝජනාවක කරුණු උල්ලංඝනය කරමින් මහ ඇමතිවරයා කටයුතු කිරීමෙන් සභාවට ලක්ෂ 133ක පාඩුවක් සිදුව ඇති බවත් ඊටත් අමතරව පළාත් සභාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය මගින් හිමි බලතල හෑල්ලු කිරීමට මහ ඇමතිවරයා කටයුතු කර ඇති බැවින් පළාත් සභාව පවත්වාගෙන යාමට නොහැකි තත්වයකට පත්ව ඇති බව ය.
ඒ අනුව මෙම කාරණය සම්බන්ධයෙන්, සභාවේ රීතිවලට අනුව මන්ත්‍රීවරු සභාවේ වැඩබලන ලේකම්වරයාගෙන් පැය දෙකකට අධික කාලයක් ප්‍රශ්න කර ඇත. වැඩබලන ලේකම්වරයා බොහෝ ප්‍රශ්න හමුවේ නිරුත්තර වී තිබේ. තමන් අතින් බරපතල වරදක් සිදුවී ඇති බව අවසානයේ ඔහු පිළිගෙන තමාට සමාව ලබා දෙනලෙස ඉල්ලා ඇත. මෙහිදී විශේෂයෙන් වැඩබලන ලේකම්වරයා පවසා ඇත්තේ තමන් මෙසේ සභාවේ නීති රීති උල්ලංඝනය කරමින් කටයුතු කළේ ප්‍රධාන ලේකම්වරයාගේ උපදෙස් පරිදි බව ය. ප්‍රධාන ලේකම්වරයාගෙන් ප්‍රශ්න කිරීම ලබන මස 07වනදා සිදුකිරීමට තීරණය කර මෙම කාරණය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර ගැන තීරණයක් ගැනීම සඳහා පක්ෂ නායක රැස්වීමක කැඳවා ඇත.
පක්ෂ නායක රැස්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න, විපක්ෂ නායක එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රා.මූ. රත්නායක, එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී මහ ඇමති චාමර සම්පත් දසනායක, ලංකා වතු කම්කරු කොන්ග්‍රස් මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමන්, පළාත් සභාවේ සභාපති ඒ.එම්. බුද්ධදාස එක්වී ඇති අතර සාභාවේ එහිදී නීති රීති උල්ලංඝනය කරමින් සිදු කළ විනය විරෝධී කටයුත්ත සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
පක්ෂ නායක රැස්වීමේදී සභාවේ නීතිඅංශය කැඳවා අදාළ සිදුවීම සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ග ගැන පක්ෂ නායකයින් වෙත උපදෙස් ලබා දෙන ලෙස ඔවුන්ට පක්ෂනායකයින් විසින් උපදෙස් දී තිබේ. ඒ සඳහා මේ මස 31වනදා දක්වා කාලය ලබා දෙන ලෙස නීති අංශය පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා ඇත. එම නීති උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටද පක්ෂ නායකයින් තීරණය කර ඇත.
පක්ෂ නායක රැස්වීමේදී මහ ඇමතිවරයා පවසා ඇත්තේ මෙම සියළු නීතිවිරෝධී ක්‍රියාවක් තමන් කළ ඒවා නොවන බවත් මේ සියළුම නීතිවිරෝධී කටයුතු සිදු කර ඇත්තේ සභාවේ නිලධාරීන් බවත් ය.
එහිදී සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීවරයා පවසා ඇත්තේ මහ ඇමතිවරයා සිය දේශපාලන බලය පාවිච්චිකරමින් නිලධාරීන් බියගන්වා අදාළ නීතිවිරෝධී කටයුතු සඳහා නිලධාරීන්ව පොළඹවා දැන් එම නිලධාරීන්ව පවා දී තමන්ගේ ජාමේ බේරාගැනීමට කටයුතු කරන බැවින් ඒ සියල්ල අදාළ තැන්වලදී හෙළි දරව්කිරීමට තමන් කටයුතු කරන බව ය.

No comments:

Post a Comment