Monday, January 7, 2013

විල්ගමුවේ කර්මාන්තපුරේ අක්‌කර 10ට දේශපාලන "දිෂ්ටියක්‌"



ප්‍රියදර්ශන ලියනගේ

විල්ගමුව කර්මාන්තපුරයේ කර්මාන්ත ආරම්භ කිරීම සඳහා රජය විසින් සුළු කර්මාන්තකරුවන්ට බෙදාදී තිබූ රුපියල් කෝටි ගණනක්‌ වටිනා අක්‌කර දහයක විශාල ඉඩම නීති විරෝධී ලෙස අත්පත් කරගෙන තමන්ට හිතවත් දේශපාලන ගෝල බාලයන්ට බෙදාදීමට මාතලේ දිස්‌ත්‍රික්‌කයේ ප්‍රබල දේශපාලනඥයකු සහ ප්‍රාදේශීය සභා සභාපතිවරයකු ක්‍රියා කරන බව වාර්තා වෙයි.

විල්ගමුව කර්මාන්තපුරයේ පිහිටි අක්‌කර දහයක්‌ විශාල මෙම ඉඩම කර්මාන්ත ආරම්භ කිරීම සඳහා කර්මාන්තකරුවන්ට බෙදාදී තිබෙන්නේ හිටපු ඇමැතිවරයකු වන මොන්ටි ගොපල්ලව මහතා විසිනි.

නමුත් රජය විසින් කර්මාන්තපුරය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නිසි පරිදි ලබා නොදීම නිසා සුළු කර්මාන්තකරුවන්ට නිසි කලට වේලාවට කර්මාන්ත ආරම්භ කිරීමට නොහැකි වී ඇත.

එයින් ප්‍රයෝජන ගත් මෙම ප්‍රබල දේශපාලනඥයා සහ ප්‍රාදේශීය සභා සභාපතිවරයා සුළු කර්මාන්තකරුවන්ට තර්ජනය කොට ඔවුන් පන්නා දමා එම ඉඩම් පර්චස්‌ 20 බැගින් තමන්ගේ ගෝල බාලයන්ට බෙදාදී තිබේ.

මේ පිළිබඳව ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතාගෙන් විමසූ විට ඇමැතිවරයා පැවසුවේ සුළු කර්මාන්තකරුවන්ට පවරා දී ඇති ඉඩම් බලෙන් ලබාගෙන දේශපාලන හිතවතුන්ට බෙදාදීමට තමන් ඉඩ නොදෙන බවයි.

No comments:

Post a Comment