Tuesday, November 10, 2015

රටේ පාරවල් කාපට්වෙලා - අපේ පාර මඩවෙලා - මහියංගන පගරගම්මන වැසියෝ පාරේ කෙසෙල් ගස් සිටුවා විරෝධය දක්වති

 11/10/2015 1:35 AM


“රටේ පාරවල් කාපට්වෙලා - අපේ පාර මඩවෙලා“  යැයි කියමින්
මහියංගන - රෝහන, පගරගම්මන, දඹගොල්ල, මැදඔය යන ගම්මාන හතරක වැසියෝ, මහියංගන පගරගම්මන හරහා ලොග්ගල්ඔය දක්වා වු බදුල්ල මාර් ගය, රෝහන ප්‍ර දේශයේදි හරස් කරමින් පාරේ කෙසෙල් ගස් සිටුවමින් අද (10) උදැසන විරෝධය දැක්වීය. ඒ සදහා ගම්මාන හතරක ගම්වාසින් පාසැල් දරුවන්ද එක්වී සිටියේය. මාර්ගය හරස් කරමින් ගම්වාසින් විරෝධතාවය දැක් විය.

විටින් විට  රජයේ මුදල් රුපියල් කෝටි ගණනින්  වැය කර ඉදිකරන ලද මහියංගන පගරගම්මන ප‍්‍රධාන මාර්ගයේ ස්ථාන රැසක් මේ වන විට කැඞී බිදී  ගිලා බැසීමට ලක්වීම හේතුවෙන් මහියංගණ හා රිදීමාලියද්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ටාශ දෙකට අයත් ගම්මාන රැසක පවුල් තුන්දහසක් පමණ විවිධ ප‍්‍රවාහණ දුෂ්කරතා රැසකට මුහුණ දී සිටිති
මාර්ගය පිළීසකර කල සෑම අවස්ථාවකදීම නිසි ප‍්‍රමිතියකට අනුව එම කටයුතු සිදු නොකිරීමත්  . මාර්ගයට ඔරොත්තු නොදෙන අන්දමේ විශාල ලොරිරථ යොදා ගනිමින් මහා පරිමාණයෙන්  පස් ,ගල් හා වැලි ප‍්‍රවාහණය කිරීමත් , ජලය බැස යාමට කණූ පද්ධතියක් නැති කමත් මාර්ගය අබලන්වීමට ප‍්‍රධාන හේතුව බව මාර්ගය පරිහරණය කරන පිරිස් පෙන්වා දෙති
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මාර්ගය දෙපස පිහිටි ගම්මානවල ජනතාව මෙසේ කීය
මහියංගණය හා රිදීමාලියද්ද ප‍්‍රාදේශිය ලේකම් කොට්ටාශ දෙකට අයත් පගරගම්මන , රෝහණ, මැදඔය, දඹගල්ල , ලොග්ගල්ලා ඔය ආදී ගම්මානවල ජනතාව බදුල්ලට වගේම මහියංගණයට යාමට භාවිතා කරන්නේ මෙම මාර්ගයයි. මීට දශක හතරකට පමණ පෙර බදුල්ල සිට පැමිණී සියලූම වාහණ ගමන් කලේ මෙම මාර්ගයෙන් . ඒ නිසා මේක බොහොම ප‍්‍රසිද්ධ පාරක්. නමුත් ලොග්ගල්ලා ඔය අන්තර් නිම්න ඇල මාර්ගය මතින් නව මාර්ගයක් ඉදි කිරීමත් සමගම මෙම මාර්ගයට ඇති අවධානය අඩු උනා.
මේ මාර්ගය දෙපස ගම්වල මිනිස්සුන්ගේ දැඩි ඉල්ලීම මත  වගේම ඇල බන්ට් එකේ ආරක්ෂාව පතා 2006 වසරේදී මෙම මාර්ගය යළීත් කාපට් අතුරා සංවර්ධනය කලා. ඒ සමගම බදුල්ල සිට එන විශෘල වාහණ ප‍්‍රමාණයක් මෙම මාර්ගය ඔස්සේ මහියංගණයට යන්න පටන් ගත්තා.
මහියංගණයට යන අනෙක් මාර්ගයට  වඩා මෙම මාර්ගය කිලෝමීටර් හත අටක් කෙටියි. ඒ නිසා විශාල පිරිසක් මෙම මාර්ගය භාවිතා කරන්න පටන් ගත්තා . ඒ වගේම මේ මාර්ගයේ ගිහින් කෙළීන්ම මහියංගණ රජමහාවිහාරස්ථානයට යන්න පුලූවන්.
ලෝක බැංකු ආධාර යටතේ හා ඌව පළාත් මාර්ග දෙපාර්තමේන්තුවේ  අධීක්ෂණය යටතේ තමයි මෙම මාර්ගයේ  ඉදිකිරීම් සිදු උනේ. ඒ සදහා වැය කල මුදල රුපියල් කෝටි ගණනක් . මෙහිදී මුලූමණින්ම මාර්ගය ගල් අතුරා කාපට් කිරීම සිදුඋනා. කොහොම උනත් පාර හදල මාස ගානක් යද්දි ඒක ගිලා බහින්නත් තැන තැන පුපුරා යන්නත් පටන් ගත්ත.
ඒ සම්බන්ධයෙන් ආව ජනතා විරෝධය නිසා යළීත් 2012 වසරේදී රුපියල් 35 699 506.53 ක් හා 2014 වසරේදී රුපියල් 16926 563.00 ක මුදලක් වැය කර මෙම මාර්ගය යළීත් පිළීසකර කලා . මේ බව මාර්ගය ආරම්භ වන ලොග්ගල්ලා ඔය හංදියේ සවි කල පුවරු දෙකක සටහන්ව තියෙනවා. මේ හැරුණු විට තවත් අවස්ථා ගණනාවකදීම මෙම මාර්ගය සදහා රුපියල් කෝටි ගනනින් වැය කර තිබෙනවා.
මේ පාර හදන්න මුදල් නුදුන්නාය කියල රජයට දොස් කියන්න බැහැ. අපිට තේරෙන විදිහට මේ වගේ පාරවල් දෙකක් හදන්න තරම් මුදල් මේ පාරට වැය කර තියෙනවා. හැම අවුරුද්දෙම සල්ලි වෙන් කරගෙන පාර හදනවා කියල ගල් ටිකක් තුනී කරනවා. මේ පාර හදපු දවස්වල ලස්සනට තිබුනා. බදුල්ලට වගේම මහියංගනයට යන බස් රථ සේවාවන් ඇතුලූ බොහොමයක් වාහන ගමන් කලෙත් මේ මාර්ගයෙයි.
මේ ප‍්‍රදේශයේ ජනතාවගේ ප‍්‍රධාන ආධායම් මාර්ගය වැළි ගොඩ දැමීම හා ගඩොල් කැපීමයි. ඒ නිසා නුවර කොළඹ නුවරඑළීය බදුල්ල ආදි විවිධ ප‍්‍රදේශවල සිට පැමිනෙන ලොරි සිය ගනනක් මෙම මාර්ගයේ දිනපතා ගමන් කරනවා.මේ හේතුව නිසාම මාර්ගය ඉදිකර ටික කලකින්ම මාර්ගය පුපුරා යාමටත් ගිලා බැසීමටත් පටන් ගත්තා. පැති කාණූ බෝක්කු ආදිය නැති නිසා සුලූ වර්ෂාවකදී පවා මාර්ගයේ ගිලා බැසීමට ලක්වුණූ තැන් මඩ වතුරෙන් පිරෙන්න පටන් ගත්තා. කිලෝමීටර් 13 ක් දුර මේ මාර්ගයේ වැඩි කොටසක් මේ වන විට මේ විදිහට අබලන් වෙලා තියෙනවා. දැන් ඉතින් මේ පාරේ පයින් යන මිනිස්සු මේ මඩ වලවල් වල බැහැලා යන්න  ඕනි. මේ තත්වය මත වැඩියෙන්ම දුක් විදින්නේ මේ ගම්වල පාසැල් දරුවොයි. පාර කැඞීයාම නිසා මේ වන විට මාර්ගයේ වෙනත් වාහණ එන්නේ නැහැ. බස් රථ සේවාවත් අඩාල වෙලා. දැන් මේ ගම්වල මිනිස්සු බස් එකකට නගින්න නම් ලොග්ගල්ලඔය වැව හංදියට හැතැම්ම දෙකක් විතර පයින් යන්න  ඕනි. මාර්ගය කැඞී යාම නිසා මේ මාර්ගය දෙපස වෙළදාම් කල විශාල පිරිසකුත් අනාථ වී සිටිනවා.
මේ පාර හිගන්නගේ තුවාලේ වගේ . හැමදාම හදනව. හැබැයි හදල අනිත් පැත්ත හැරෙද්දි කැඩෙනව. මේ විනාශ වෙන මුදල් කන්දරාව ගැනවත් හොයන්න කෙනෙක් නැහැ. මේකට හේතුව මාර්ගය ප‍්‍රමිතියකින් තොරව හැදීම කියන එක පුංචි දරුවන්ටත් තේරෙනව.
අපි මේ ගැන කීවාම නිලධාරි කියන්නේ මේ මාර්ගයේ ලොරි ගමන් කිරීම මාර්ගය විනාශ වීමට හේතුව කියලයි. අපිට ඒක විශ්වාස කරන්න බැහැ. ලංකාවේ තියෙන වාහණයක මේ වගේ ප‍්‍රධාන පාරක ගියාම ඒක කැඩෙනවා නම් ඉතින් ඒකට වග කිව යුත්තේ මේ ගම්වල අහිංසක ගොවි ජනතාව නෙමෙයි රජයේ මුදල් කාබාසීනියා කරමින් නිතර නිතර මේ පාර හදන්න පටන් ගැනීම නිසා පාර නිතර නිතර වහන්නත් වෙනව. ඒ නිසා මේ සියලූ ගැටලූ වලට විසදුමක් විදිහට මේ පාරේ ඉදිකිරීම්  සම්බන්ධයෙන් නව රජයේ හා ඌව පළාත් මහ ඇමැති තුමාගේ අවධානය යොමු කරන්න කියා අපි ඉල්ලා සිටිනවා. 






No comments:

Post a Comment