Thursday, May 15, 2014

සාධාරණයක්‌ ඉටු නොවුණොත් ප්‍රශ්නය

පොලිස්‌ අත්අඩංගුවේ දී මිය ගිය මීගහකිවුලේ සඳුන් අවසන් ගමන් යයි සාධාරණයක්‌ ඉටු නොවුණොත් ප්‍රශ්නය
ජනපති ළඟට අරගෙන යනවා
අවමඟුල් උළෙලේදී ඌව පළාත් සභා මන්ත්‍රී මිහිමල් කියයි

කන්දකැටිය - ජී. චතුරංග...

*කන්දකැටිය පොලිසියේ මිලේච්ඡ ප්‍රහාරයෙන් මිය ගිය සඳුන් මාලිංග සොයුරාට නිවන් සුව

*ම්ලේච්ඡ පොලිස්‌ ප්‍රහාරයෙන් මිය ගිය අපේ සොයුරාට නිවන් සුව පතමු ජනාධිපතිතුමනි සක්‌ දෙවිඳුන් නැත ම්ලේච්ඡ ලොවට ඔබගේ නෙත් යොමන්න.

මගේ සුදු පුතාට අත් වූ ඉරණම තවත් සුදු පුතෙකුට අත් නොවේවා සුදුපැහැති ඉටි කොලවල කළු පැහැ අකුරින් ලියූ එවැනි වදන් රැසකින් සමන්විත බැනර් කීපයක්‌ම මීගහකිවුල නගරයේත් මීගහකිවුල අකුරුකඩුව කොස්‌මෝ පාර්ම්හි පිහිටි පවුලේ සුසාන භූමිය අසල වූ වැටවල්වලත් එල්ලා තිබිණි. (මීගහකිවුල නගරයේ එල්ලූ එම බැනර් පැය කීපයකට පසු කිසියම් පිරිසක්‌ ඉවත් කර තිබිණි) ප්‍රදේශයේ තරුණ පිරිස එක්‌ව මෙම වැකි ලියන ලද බැනර් ප්‍රදර්ශනය කර තිබුණේ පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු හදිසියේ මිය ගිය තම මිතුරාගේ අවමංගල උළෙල වෙනුවෙනි.

ඔවුන් එසේ කළේ තම සිත තුළින් බුර බුරා නැගි කෝපය පිටකරන්නට ඒ වැකි සමත් නොවූවත් නීතිය හමුවේ මේ පිරිසට කරන්නටද අන් යමක්‌ නොවූ හෙයිනි.

පාසල් ගමනින් පසු කරන්නට රැකියාවක්‌ නොමැති නිසා දෙමාපියන්ගේ කටයුතුවලට සහාය වෙමින් ත්‍රිරෝද රථයක රැකියාවක්‌ කළ මාලිංග ප්‍රදේශයේ තරුණ පිරිස අතර සිටි නිහඬ චරිතයකි.

මීගහකිවුල ශ්‍රී සුභද්‍රාරාමාධිපති පූජ්‍ය බුදුරාවේ සීලවංශ හිමියන් පවසන පරිදි පන්සල සමග ඉතා සමීප ඇසුරක්‌ පවත්වාගෙන යමින් සිටි හෙතෙම මෙවර වෙසක්‌ උළෙල වෙනුවෙන් පන්සලේ තොරණක්‌ හදන්නටද කතිකා කරගෙන සිටියේ විහාරාධිපති හිමියන්ගෙන් ඊට ආශිර්වාදයද ලබා ගනිමිනි.

කෙසේ වෙතත් ඉකුත් හත්වන දින ඔහු ඔහුගේ සොහොයුරා ඇතුළු පස්‌දෙනකු සමග කන්දකැටිය පොලිසිය මගින් අත්අඩංගුවට පත් වන්නේ මීගහකිවුල බෝගහපතන ප්‍රදේශයේ රක්‍ෂිතයක නිධානයක්‌ හෑරීමේ සිද්ධියක සැකකරුවන් ලෙසය. අනතුරුව උසාවි නියෝගයක්‌ මත රක්‍ෂිත බන්ධනාගාරගත වන මාලිංග යළිත් පසුගිය 10 වැනිදා නිවසට පැමිණෙන්නේ සිව්දෙනකුගේ කර මතිනි.

දින දෙකක්‌ නිවසේ තබා තිබූ මාලිංගගේ දේහයේ අවමංගල කටයුතු පසුගියදා (12දා) මාලිංගගේ පවුලේ සුසාන භූමියේ දීම පැවැති අතර එම අවස්‌ථාවට සහභාගි වීම සඳහා ප්‍රදේශයේ දේශපාලකයන් ඇතුළු දහස්‌ සංඛ්‍යාත පිරිසක්‌ ඔහුගේ නිවස වෙත පැමිණ සිටියහ.

මීගහකිවුල ශ්‍රී සුභද්‍රාරාමාධිපති පූජ්‍ය බුදුරාවේ සීලවංශ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අවමංගල උත්සවයේ ආගමික කටයුතු පැවැති අතර අවමංගල සභාව අමතා කතා කළ උන්වහන්සේ මාලිංග පිළිබඳ හැඳින්වීමක්‌ කරමින් මෙසේ අදහස්‌ දැක්‌වූහ.

මේ පවුල වගේම මිය ගිය දරුව පන්සල සමග ඉතා සමීපව කටයුතු කරන අසරණ පවුලක්‌. මෙයා පන්සල කෙරේ තියෙන්නේ දැඩි භක්‌තියක්‌. මේ දරුවා ඇතුළු ගමේ දරුවො පසුගිය වසරේ පන්සලට ඇවිත් වෙසක්‌ එකට පටාචාරා කතා වස්‌තුව නිර්මාණය කරන්නට දායක වුණා.

දින කීපයකට උඩදී පන්සලට ඇවිත් කීව මෙවරත් තොරණක්‌ හදනව කියල. නමුත් ජීවිතේ තියන අස්‌ථීර බව අපට කියා දෙමින් ඔහු යන්න ගියා.

අවමංගල සභාව ඇමැතූ ඌව පළාත් සභා මන්ත්‍රී (එජනිස) මිහිමල් මුණසිංහ මහතා මෙසේ කීය.

පොලිසියට බලය ලැබෙන්නේ එය අවශ්‍ය විට පාවිච්චි කරන්නයි. එසේ බලය නිසි පරිදි යොදවන රත්තරන් පොලිස්‌ නිලධාරීන් මේ රටේ ඉන්නවා. ඒ අය නිසා බැබළෙන පොලිස්‌ සේවය පොලිස්‌ නිල ඇඳුම් ඇඳගත් බලු රංචුවක්‌ විනාශ කළා. ප්‍රතිඵලය වුණේ කිසිදු වරදක්‌ නොකළ මේ දරුවා මේ අහිංසක අම්මගෙන් උදුරා ගැනීමයි.

නමුත් අද ඊට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක වන අවස්‌ථාවේ අපි කලබල විය යුතු නැහැ. අපි සිදුවන දේ බලා හිඳිමු. නමුත් යම් අසාධාරණයක්‌ වනවා නම් අපි ඊට එරෙහිව නැගී සිටින බවත් මෙම ගැටලුව විසඳා නොදුන්නොත් මෙය ජනාධිපති දක්‌වාත් රාජ්‍ය ආරක්‍ෂක ලේකම්වරයා දක්‌වාත් අපි ගෙන යන බව මා මෙම අවමංගල සභාවේදී ඔබට පොරොන්දු වෙනවා.

අවමංගල සභාව අමතා ඌව පළාත් සභා මන්ත්‍රී නිලමේ වික්‍රමරත්න මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ උප සභාපති ලලිත් ජයවර්ධන මහතා ඇතුළු විශාල පිරිසක්‌ කතා කළහ.

පවුලේ ඥාතීහු ඇතුළු දහස්‌ සංඛ්‍යාත පිරිසක්‌ හඩා වැලපෙද්දී කිසිවෙකුත් නොසිතූ විටෙක අකල් මරණයකට ගොදුරු වූ සඳුන් මාලිංග තරුණයාගේ දේහය මීගහකිවුල අකුරුකඩුව පවුලේ පොදු සුසාන භූමියේ මිහිදන් කෙරුනේ අප ඉදිරියේ තවත් ප්‍රශ්න රැසක්‌ ඉතිරි කරමිනි.

No comments:

Post a Comment