Monday, January 25, 2016

දුරුතු පෝය අදයි. සම්බුදු හිමි පාදස්පර්ෂයෙන් පිවිතුරුවු මහියංගන පුදබිම සුදුවතින් බබලයි


1/23/2016 8:59 AM
ලක්වාසී බෞද්ධයින් මහත් හරසරින් සිහිපත් කරනු ලබන බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසලොස්වක පොහෝ දිනය අදයි (23). බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කොට  නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වාසී බොදුනුවන්ට වන්දනා කිරීම සඳහා කේශධාතු මිටක් ලබාදුන් බවත් එම ධාතු නිදන්කොට මහියංගන චෛත්‍ය ඉදිකළ බවත් ශාසන ඉතිහාසයේ සඳහන්ය. එහෙයින් මහියංගණ සෑය අද ද බෞද්ධයින්ගේ මහත් ගෞරවාදරයට පත් වූ ස්ථූපයකි.
දුරුතුපොහොය නිමිත්තෙන් ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ උදැසන සිට සවස්වන තුරු විශේෂ ධර්ම දේශනා, ධාන, සීල, භාවනා, කප්රුක් පුජා, බෝදිපුජා, කිරිආහාර පුජා යන විශේෂ වැඩසටහන් රාශියක් මහියංගන රජමහාවිහාරස්ථානයේ භාරකාර පුජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්කිත නාහිමියන්ගේ ප්‍රදානත්වයෙන් සංවිධානය කර ඇත. පෙහෙවස් සමාදන් වීම සදහා උවැස උවැසියන් විශාල පිරිසක් මහියංගන රජමහා විහාරස්ථානය වෙත පැමිණ සිටිනු දක්නට ලැබින.
ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ බුදුරජාණන් වහන්සේ දඹදිව පහළ වූ සමයෙහි අප රටේ වාසය කළේ යක්ෂ, නාග, දේව ගෝත්‍රිකයන් ය. ඌව පළාතේ පිහිටි මහියංගණය අවට යක්ෂ ගෝත්‍රිකයන්ද, කැලණි ගඟ ආශි‍්‍රතව නාග ගෝත්‍රිකයන්ද, කඳුකර ප්‍රදේශයේ දේව ගෝත්‍රිකයන්ද විසූ බව ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙයි. එසමයෙහි මහියංගණයේ වාසය කළ යක්ෂ ගෝත්‍රිකයන් පිරිසක් මිනිබේ ( අදමිනිපේ) ජනපදයේ මහානාග නම් වූ උයනට රැස්ව දෙපිරිසකට බෙදී මහා සටනකට සැරැසුණු අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ එය නුවණින් දැක සිදුවන්නට යන මහා ජීවිත විනාශය වළකනු වස් ඍද්ධියෙන් ඒ ස්ථානයට වැඩම කළ සේක. ඒ වන විට උන්වහන්සේ වැඩ සිටියේ දඹදිව උරුවෙල්දනව්වේය. එදා බුද්ධත්වයෙන් නව වන මස එළැඹි දුරුතු පසළොස්වක පෝය උදාවී තිබිණි.
අහසෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ පත්කඩය එළා බිම වාඩිවීමට යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් අවසර ඉල්ලී ය. ඔවුන්ගේ අවසරය මත පත්කඩය එළා වාඩි වී ඍද්ධි ප්‍රාතිහාර්ය පෑ සේක. බියට පත් එම යුද්ධාභිමුඛ මහ දෙපිරිස ඈතට පලා ගිය හ. යුද්ධය නවතා සන්සුන් වූ පිරිසට බුදුහිමියෝ දහම් දෙසූහ. අද අපට දක්නට ලැබෙන මහියංගණ මහ සෑය පිහිටුවා ඇත්තේ එම ස්ථානයේ යැයි එදා සිට ප්‍රචලිතය. මෙම අවස්ථාවේ ධර්ම ශ්‍රවණයට සුමන සමන් දිව්‍ය රාජයා ප්‍රධාන දිව්‍ය සමූහයාද රැස්ව සිටියහ. දහම් අසා සෝවාන් ඵලයට සපැමිණි සුමන සමන් දිව්‍ය රාජයා වැඳුම් පිදුම් කරන්නට බුදුහිමිගෙන් පූජනීය වස්තුවක් ඉල්ලා සිටියේය. බුදුහිමියෝ හිස පිරි මැද කේශ ධාතු මිටක් සුමන සමන් දිව්‍ය රාජයන් අත තැබූහ. ඔහු එය රන් කරඬුවක බහා එතැන සත් රියන් උස ඉඳුනිල් මිණි වෙහෙරක් ඉදි කළ බව පැවැසේ. බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළ පසු ඉදිකළ ප්‍රථම ස්තූපය වන්නේ මහියංගණ මහා සෑයයි. අද එය පඨමක චෛත්‍ය මියුගුණ සෑය, මහියංගණ මහා සෑය යන නම් වලින් හැඳින්වෙයි.







No comments:

Post a Comment