Saturday, February 1, 2014

සද්දන්තයාටත් මුත්‍රා පහකරවන පින්නවල කෝටු පහර

http://www.divaina.com/2014/02/02/feature19.html
සද්දන්තයාටත් මුත්‍රා පහකරවන පින්නවල කෝටු පහර
2014-02-01
ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ට අද මුහුණදීමට සිදුව ඇත්තේ ඉතාම බිහිසුණු වූ අත්දැකීම් රැසකටය. ශීඝ්‍රයෙන් සිදු කරන වනාන්තර එළි පෙහෙළි කිරීම් සහ අලිමංකඩ අසුරා නිවාස, ගොඩනැඟිලි, මහාමාර්ග ඉදිකිරීම නිසා වන අලින්ට අද යන එන මං අහිමි වී තිබේ. හොඳින් වැඩුණු පිරිමි අලියෙකුට දිනකට අවම වශයෙන් කිලෝග්‍රෑම් 200 ක පමණ ආහාර අවශ්‍ය වේ. වනගතව ජීවත් වන අලින්ට තණකොළ, ගස්‌වල පොතු, ඉදුණු පලතුරු, ශාක පත්‍ර ආදිය ආහාරයට ගත හැකිය. එහෙත් ශීඝ්‍රයෙන් සිදු කරගෙන යන වන විනාශය, කැලෑ කැපීම්, කැලෑ ගිනි තැබීම් ආදිය හේතු කොටගෙන අලි ඇතුන්ට අවශ්‍ය ප්‍රමාණයට වනාන්තරවල ආහාර නොමැති තත්ත්වයක්‌ උද්ගතව පවතී. මේ නිසා ඇතැම් විට කුඩා අලි මියයැම පවා දැකිය හැකිය. අතීතයේ තෙත් කලාපයේ ද අලි සිටි නමුත් අද අලි බහුලව දක්‌නට ලැබෙන්නේ වියළි කලාපයේය. වියළි කලාපයේ නියඟය පවතින කාලවලදී අලි ඇතුන් ඉතා බරපතළ ලෙස ආහාර හිඟයෙන් පෙළෙනු ඇත. අලි ගම්වැදීමට හේතුව වනාන්තරවල ප්‍රමාණවත් තරම් ආහාර නොමැති වීමය. එහිදී අලින්ගෙන් මිනිසුන්ටත්, මිනිසුන්ගෙන් අලින්ටත් හානි සිදු වේ. අලි රංචු ආහාර සොයා එක්‌ කැලේකින් තවත් කැලේකට මාරුවන ස්‌ථාන හරස්‌ කර නිවාස, මහා මාර්ග ඉදිකිරීම නිසාද අලි මිනිස්‌ ගැටුම උග්‍රවී තිබේ. අලින්ගේ ගමන් මඟ අහුරා තැබීම සඳහා විදුලි වැට සැකසීම වැනි පිළියම් සිදු කළත් ඇතැම් අවස්‌ථාවල ඒවායෙහි විදුලිය නොමැති නිසා අලි එම වැට කැඩූ අවස්‌ථා ඇත. අලින්ට මෙන්ම විදුලි වැටෙන් මිනිස්‌සුන්ටද හානි සිදුවූ අවස්‌ථා ඇත. විදුලි වැටට ඇති බිය නිසා කැලෑ ඇතුලේ සිරවී සිටින අලි ඇතුන් ආහාර හිඟය නිසා මියගිය අවස්‌ථා ද පවතී.

දළ ලබා ගැනීම, පැටවුන් ලබා ගැනීම ආදිය සඳහා අලි ඇතුන් මරා දැමීමද පසුගිය කාලයේ ජයටම සිදු කෙරිණි. එසේම දුම්රියේ හැපීම නිසා අලි ඇතුන් බොහෝදෙනකු මියගොස්‌ තිබේ. මුළු අලි ජනගහනයෙන් අද දළ ඇතුන් ඉතිරිව ඇත්තේ සියයට 5 කටත් අඩු ප්‍රතිශතයකි. මේ නිසාම අලි ඇතුන්ට

රැකවරණය ලබාදීමටත්, වනාන්තරවලදී මව්පියන් අහිමි වන අලි පැටවුන්ට රැකවරණය සැලසීමටත් කියා අලි අනාථාගාරයක්‌ පින්නවල ස්‌ථාපිත කෙරිණි.

පින්නවල අලි අනාථාගාරය 1975 වසරේ දී ආරම්භ කර ඇති අතර මේ වන විට අලි ඇතුන් සියයකට ආසන්න සංඛ්‍යාවක්‌ එහි සිටිති. ගත වූ වසරේ දී එනම් 2013 දී පින්නවල අලි අනාථාගාරයේ සිටි අලි ඇතුන් නැරැඹීම සඳහා දෙස්‌ විදෙස්‌ සංචාරකයන් ලක්‍ෂ 7 කට වැඩි සංඛ්‍යාවක්‌ (716366 දෙනෙක්‌) පැමිණ තිබේ. ඒ අතරින් 278746 දෙනෙක්‌ම විදේශීය සංචාරකයන්ය. සංචාරක කර්මාන්තය අතින් ද මෙයට ඉහළ වටිනාකමක්‌ පවතින බව එයින් තහවුරු වන්නකි. ශ්‍රී ලංකාවේ අලි දැක ගැනීමට විදේශිකයන් විශේෂ කැමැත්තක්‌ දක්‌වන්නේ ශ්‍රී ලංකාවේ අලින්ගේ හැඩය හා වර්ණය ලෝකයේ වෙනත් රටවල දක්‌නට නොලැබෙන බැවිනි. මේ නිසා පින්නවල සිටින අලින් ශ්‍රී ලංකාවට සම්පතකි. වනය වැනසූ කල පින්නවල හෝ එම අලින්ට

රැකවරණයක්‌ සලසා තිබීම අපි අගය කොට සලකන්නෙමු. එහෙත් එහි සිටින අලින්ට හිංසා පීඩා සිදු කිරීම අපි හෙළා දකිමු.

අලියා මොන තරම් සද්දන්තයෙක්‌ වුවත් හෙණ්‌ඩුවට සහ කෝටුවට මහත් සේ බියක්‌ දක්‌වන්නේ එය අතිශය රිදුම් දෙන්නක්‌ බැවිනි. අලි අනාථාගාරයේ අලින් මෙල්ල කිරීම සඳහා ඇත් ගොව්වන්ට හෙණ්‌ඩුවක්‌ සහ කෝටුවක්‌ ලබාදී ඇත. ඒවා ඉතා හොඳින් භාවිත කරමින් ඇත්ගොව්වන් අලින්ට ඉතා හොඳින් සලකන බවට ඡායාරුපද සහිතව පසුගියදා අප පුවත්පතේ පළවිය. මේ ආකාරයට ඇත්ගොව්වන් විසින් අලින්ට දරුණු ලෙස පහරදෙන බවට තොරතුරු මීට පෙර අවස්‌ථා කිහිපයකදීද ද මාධ්‍ය මගින් වාර්තා විය. පින්නවලදී ඇත් ගොව්වාගෙන් ලැබූ දරුණු ප්‍රහාරය හමුවේ අලියාට මුත්‍රාද පිටවී තිබිණි. අලි අනාථාගාරයේ බොහෝ විට සිටින්නේ අම්මා තාත්තා අහිමි වූ අලි පැටවුන් ලෙස මුලදී එහි පැමිණි අලින්ය. අලින්ට, ඇත් ගොව්වා තම පියා හා සමාන වනු ඇත. වරදකට දඬුවම් දීම පිළිබඳව ගැටලුවක්‌ නැත. අලින්ගෙන් මිනිස්‌සුන්ට වන හානිය හෝ වෙනත් විපත් නොවන්නට නම් මෙසේ වනාන්තරවලින් රැගෙන අවුත් සීමිත ප්‍රදේශයක රඳවාගෙන ආරක්‌ෂා කරන අලින්ව හීලෑ කර ගැනීමට අවශ්‍ය වේ. දරුවන්ටද ඇතැම් දෙමව්පියන් පහරදෙන අයුරු අපි දැක ඇත්තෙමු. මානව හිමිකම් අතින් බැලූ කල එය ළමයින්ගේ මානව හිමිකම් කඩවීමකි. නීත්‍යනුකූලව ද එය ළමා හිංසනයක්‌ ලෙස සලකා දෙමව්පියන්ට දඬුවම් නියම කිරීමට වුවද හැකිය. එහෙත් අම්මා, අප්පා නැති මේ අසරණ අනාථ අලි කුමක්‌ කරන්නද...? ඒ අසරණ අහිංසක සතුන් මෙල්ල කිරීම සඳහා දරුණු ලෙස පහර දීමෙන් සතුන්ට ආදරය දක්‌වන මිනිසුන්ගේ හද කීරි ගන්වනු ඇත. වරදක්‌ කළ පසු පහර දෙනවාට වඩා අලින් බලා ගැනීමේදී නිසි පරිදි උන් ගැන අවධානයෙන් සිට වරදකට යොමුවීම මුලදීම වළක්‌වා ගැනීමට ඇත්ගොව්වන් කාරුණික විය යුතුය. බීමත්කම, බේබදුකම, කම්මැලිකම නිසා අසරණ සතුන්ට හිංසා නොකරන ලෙස අපි ආයාචනය කරමු.

තුෂාරී කළුබෝවිල

No comments:

Post a Comment