Thursday, May 8, 2014

ඓතිහාසික පුරාවිද්‍යා ස්ථානයක සතියක් තිස්සේ නිධන් හාරමින සිටි පුද්ගලයන් අල්ලන්නන බොදු බළසේනාව මහියංගනයට

 
ඓතිහාසික පුරාවිද්‍යා ස්ථානයක සතියක් තිස්සේ නිධන් හාරමින සිටි පුද්ගලයන් අල්ලන්නන බොදු බළසේනාව මහියංගනයට

2014-05-08 ප.ව. 9:21
මහියංගන ගිරාදුරුකෝට්ටේ  ගල්පෝරුයාය ප්‍රදේශයේ කබාදම්ම ගල ( රන් කබේ දැම්ම ගල) නම් ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති  ස්ථානයක සති කිහිපයක් තිස්සේ නිධන් හාරමින් සිටිනා පිරිසක් ඇල්ලීම සදහා බොදුබල සේනාවේ ලේකම් ගලබොඩ අත්තේ ඥාණසාර හිටියන් ප්‍රමුඛ පිරිසක් අද සවස (08) මහියංගනයට පැමිණියා.

දින කිහිපයකට කලින් මේ සම්බන්දයෙන් වගකිවයුතු ඉහලම පොලිස් නිළධාරින් දැනුවත් කලද ඒ සම්බන්දයෙන් ඔහුන් ක්‍රියාත්මක නොවිම හේතුවෙන් මෙම ගමන පැමිණිමට තමන් වහන්සේ ඇතුලු පිරිසට සිදු වු බව උන්වහන්සේ ප්‍රකාශකර සිටියා.

ගල්පෝරුයාය ප්‍රදේශයේ කබාදම්ම ගල වෙත බොදුබලසේනාව ලගාවන විට එම ස්ථානයේ නිධන්හාරමින් සිටි පිරිස පලාගොස් සිටි අතර බොදුබළසේනාව එන බව දැන ඊට ප්‍රථම එම ස්ථානයට ගොස් ගිරාදුරුකෝට්ටේ පොලිස් නිළධාරින් එම ස්ථානයේ තිබු උපකරන කිහිපයක් අත් අඩංගුවට ගෙන ඇත.

සතියකට වඩා මෙම නිධන් ජාවාරම යන්ත්‍ර සුත්‍ර බාවිතා කරමින් ප්‍රදේශයේ  ජනතාව බියවද්දමින් ඉහල පෙලේ නිළධාරින්ගේ සහය ලබාගනිමින් මහියංගනය ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් තිදෙනෙක් සේවකයන් 15ක් පමණ යොදා ගනිමින් ජයටම සිදු කර ඇති අතර පොලිසියේ (ආරක්ෂක අංශ) සහයක් නොමැතිව මෙවැනි ආකරයට විශාල පරිමාණයෙන් ගල් බොර දමමින් සිදුකිරිමට නොහැකිබව බොදුබල සේනාවේ ලේකම් ගලබොඩ අත්තේ ඥාණසාර හිටියන චෝදනා කරති.

වැඩිදුරටත්  උන්වහන්සේ මෙසේද පැවසිය. අනුර සේනානායක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා පසු ගිය දවසක කියලා තියෙනවා බොදු බල සේනා සංවිධානය නිතිය අතට ගන්නවා කියලා.  අපි අහනවා උන්නැහෙගෙන් අපි නිතිය කවදාද අතට ගත්තේ කියලා? මේ සිදුකරන පුරාවස්තු සංහාරය පිළිබද අදාල අංශ කලින්ම දැනුවත්කර තිබියදී මොකක්ද ගත්තපියවර කියලා අපි අහනවා ?? මොකක්ද ඌව දිශාව භාර නියෝ ජ්‍යෙපාලිස්පතිවරයා ගත්තපියවර කියලා. රටට විහිලු සපයන පුද්ගලයෙක් නොවි කරුණාකරලා අපි රට දෑ සමය ‍වෙනුවෙන් ගෙන යන ව්‍යාපාරයට සහය දක්වන්නට උන්නැහේට හා සියලුම පාර්ශවයන්ට සම්මාදිට්ඨිය පහල වෙන්ඩ කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

 


















Sunday, May 4, 2014

මිය ගිය හෙනානිගල හිටපු ආදී වාසී නායක ආදී වාසි සිරිතට අනුව භුමදානය කෙරිනි - හේනානිගලට නව උපනායකයෙකු සොහොනේදී පත් කෙරේ

මිය ගිය හෙනානිගල හිටපු ආදී වාසී නායක ආදී වාසි සිරිතට අනුව භුමදානය කෙරිනි -  හේනානිගලට නව උපනායකයෙකු සොහොනේදී පත් කෙරේ
5/4/2014 11:32 PM
දෙහිඅත්තකණ්ඩිය හෙනානිගල හිටපු ආදී වාසී නායක හා වයස්ගතම ආදිවාසී පුද්ගලයා වන තාලාවරිගේ කළු අප්පු (වයස114කට වැඩි) ගේ දේහය හෙනානිගල පොදු සුසාන භූමියේදී ඉරිදා (04) සවස ආදිවාසී නායක දඹානේ වන්නිලා ඇත්තන් හා හේනානිගල ආදිවාසී නායක ගුණබංඩියා ආත්තන්ගේ  ප්‍රධානත්වයෙන් හා සංවිධානයෙන් අවසන් කටයුතු ආදී වාසි සිරිතට සිදු කෙරිනි.
දෙහිඅත්තකන්ඩිය මුලික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියදී 30 දින කළු අප්පු අභාවප්‍රාප්ත විය. දේහය අංක 17, හේනානිගල දකුණ, නවමැදගම යන ලිපිනයේ වු නිවසේ මේ වන විට තැම්පත් කර තිබු අතර දේහය ආදිවාසි පාරම්පරික චාරිත්‍ර හා වත් පිළිවෙත්  අනුව ඖෂධිය බත්හික් පොත්තෙන් හා ගැටකිරි වැල් ආදාරයෙන් සෑදු පෙට්ටියක දේහය තැම්පත් කර තිබුනි.
බත්හික් පොත්තෙන් සාදන ලද පෙට්ටියක දේහය තැම්පත් කිරිම තුලින් මෘත ශරිරය නරක් නොවී දින 7-8 ක් කල් තබා ගැනීමට හැකි වන අතර ආදිවාසින්  මෘත දේහ කල් තබා ගැනිම සදහා කිසිදු කෘතිම රසායන ද්‍රව්‍යක් බාවිතා නොකරන බවත් හික් ලීයෙන් සාදන ලද පෙට්ටිය පතුලට පාරම්පරික රහස් ඖෂදයක් දමා ඒ මතුපිට දේහය තැන්පත් කිරිම තුලින් එම ඖෂධ වලින් පිටවන ශ්‍රාවයන්ගෙන් දේහය විජලනයට පත් කර දින ගනනාවක් කල් තබා ගැනිමට හැකි බවත් දේහයේ වර්ණය පවා කිසිදු  වෙනසක් සිදුවන බව දඹානේ ආදිවාසී නායක වන්නිල ඇත්තන් ප්‍රකාශ කර සිටි. ආදිවාසි හිටපු නායක කළු අප්පුගේ දේහයද දින 4ක් තබා ගන්නා ලදි.
සුසාන භුමයේදී දඹානේ ආදිවාසී වන්නිලා ඇත්තන් අතින් හේනානිගල සදහා උප නායකයෙකු පත් කල අතර ඔහුට  මිය ගිය තාලාවරිගේ කළු අප්පු ගේ දුණු ඊතල ලබා දි නව පත්වීම සිදු කල අතර ‍මෙසේ නව පත් වීම ලබා ගනු ලැබුවේ  තලාවරි සුදු අප්පු හටයි.
හෙනානිගල වත්මන් නායක තලාවරිගේ ගුණබණ්ඩියාට අවනත වී ආදී වාසී රැහේ උරුමය රැකීමට පොරොන්දු වෙමින් සුදු බණ්ඩියා ආදී වාසී නායකයාගෙන් දෙඅත් මත තම දෙඅත් තබා පොරොන්දු විම සනිටුහන් කළේය.
ප්‍රදේශායේ වෙහෙර විහාරස්ථාන රාශියක මහා සංඝ රත්නය හා රජ්‍ය නිළධාරින් හා දේශපාලන නායකයන්ගේ  නියෝජිතයන් හා ගම්වාසී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අවසන් කටයුතු ආදිවාසි චාරිත්‍රානු කුලව ධාරානිපාත වර්ෂාව මධ්‍යෙය් සිදු කෙරිනි.
දරුවන් 10 දෙනකුගේ ( දරුවන් 06ක් හා දියනියන් 04ක් ) පියකු වු ඔහු පරම්පාරා හතරක මුණුබුරු,මිනිපිරියෝ 105 දෙනෙක් දුටහ.
 දඹානේ කන්දෙගන්වල සිටි කළුඅප්පු අතුලු පිරිස මහවැලි ඉඩම් ලැබ 1982 වසරේදී හෙනානිගලට පැමිණයේ අභාවප්‍රාප්ත මහවැලි ඇමැති ගාමිණි දිසානායක මහතාගේ ගේ ඇරියුමකට අනුවය.
















Saturday, May 3, 2014

දකුණේ හරක්‌ මාදුරුඔය උලා කති වනජීවී සංරක්‍ෂණයට දෙවියන්ගේම පිහිටයි!

දකුණේ හරක්‌ මාදුරුඔය උලා කති වනජීවී සංරක්‍ෂණයට දෙවියන්ගේම පිහිටයි!

වන සතුන්ගේ අභය භූමි සහ ආහාර බිම් ලෙස ප්‍රකාශයට පත්තර ඇති ජාතික උද්‍යාන තුළට ගෘහස්‌ථ ගවයන් ඇතුළු කර සතුන්ගේ අයිතිය ගවයින්ට උදුරාදීම අද මෙරට වනජීවී සංරක්‍ෂණයේ ඇති වී තිබෙන බරපතළ ගැටලුවකි. (ගෘහාශ්‍රිත) ගවයින්ට උලාකන්නට තෘණපිටි නොමැතිකමින් හෝ, පහසුවෙන් ලබාගත හැකි පරිදි වනෝද්‍යාන තුළ තෘණ වැවී ඇති නිසා හෝ නීති විරෝධී ලෙස වන උයන් තුළට ගවයින් ගාල්කිරීම අද හරක්‌ පට්‌ටි හිමියන්ගේ කාර්ය භාරය වී තිබේ. නිකම්ම පා ගමනින් හෝ තුට්‌ටු දෙකේ වාහනවලින් නොව, ප්‍රාඩෝ, ඉන්ටර්කූලර්වලින් යන එන මෙම හරක්‌පට්‌ටි හිමිකරුවන් මෙසේ වනඋද්‍යාන තුළට හරක්‌ ගාල්කරන්නේ නිකම්ම නොව, එක්‌කෝ ඇතැම් බලවත් වනජීවී නිලධාරීන්ගේ උදව්වෙනි. නැතහොත් දේශපාලන හයිකාරකම් ප්‍රයෝජනයට ගනිමිනි. එසේත් නැතිනම් පැහැදිලිවම වනය, වන ජීවීන්ගේ අයිතිය රකින්නට සිටින මැති ඇමැතියන්ගේ බලපුළුවන්කාරකම මතය.
ආරම්භයේදී මෙසේ ගෘහාශ්‍රිත එළ හා මී ගවයින් උද්‍යාන තුළට නීති විරෝධීව ගාල්කිරීමේ කතාන්දරය අපට අසන්නට ලැබුණේ මොණරාගල දිස්‌ත්‍රික්‌කයට අයත් උඩවලව ජාතික උද්‍යානයෙනි. එකල අවම තරමින් උඩවලව උද්‍යානය තුළින් මෙසේ ගාල්කරන ලද ගවයින් ගණන දසදහස ඉක්‌මවා ඇති බවට වනජීවී නිලධාරීන් ගණන් බලා තිබිණි.
මෙම නීති විරෝධී කටයුතු සඳහා මැදිහත්ව සිටියේ දේශපාලන හයිකාරකම් ඇති ප්‍රදේශයේ ධනවත්, එමෙන්ම හරක්‌ වෙළෙ¹ම්වලට නම් දරා සිටි පුද්ගලයින්ය. අලින් සඳහා උද්‍යානය වටා යොදා ඇති අලිවැටේ කම්බි මෑත්කර රිටක්‌ ගසන මොවුහු තමන්ට රිසි සේ ගවයින් උද්‍යානයට ඇතුළු කරති. මෙය වනජීවී පාලනාධිකාරියට පාලනය කළ නොහැකි මාµsයාවකි. මේ හේතුව නිසා උඩවලව වනෝද්‍යානය අවට අලි - මිනිස්‌ ගැටුම උග්‍ර වූයේ අලින්ට ඇති තෘණ සම්පත් ගවයින් විසින් උලාකනු ලැබීම හේතුවෙන් මෙන්ම ගවයින් කට ගෑ තෘණ අලින් විසින් ආහාරයට ගැනීම ප්‍රතික්‍ෂේප කරන නිසාය. අද අලි - මිනිස්‌ ගැටුම ගැන කතා කරන බොහෝ දෙනා ඒ ගැන කතා නොකරති.
කෙසේ හෝ උඩවලව වනෝද්‍යානයට බලවත් හිසරදයක්‌ව පැවැති මෙම ගවයින් ඇතුළු කිරීමේ ප්‍රශ්නය ලුණුගම්වෙහෙර වනෝද්‍යානය ප්‍රකාශයට පත්කළ පසුව එයින්ද වාර්තා විය. මේ අනුව ගවයින් මගින් වනෝද්‍යානවලට සිදුවන දැවැන්ත විනාශය හා අලි - මිනිස්‌ ගැටුම උග්‍රවීම ඌව පළාතේ මොණරාගල දිස්‌ත්‍රික්‌කයට ආවේණික ප්‍රශ්නයක්‌ බවට පත්විය. ඊට හේතුව දකුණ ගව සම්පතින් අනූනවීමත් ගවයින්ට හොරාකෑමට ගව පට්‌ටි හිමියන් හා දේශපාලකයින් ඇති තරම් උදව් දීමත්ය. මේ අනුව සැබෑ ලෙසම අසරණ වූයේ මෙම වනෝද්‍යානවල දිවි ගෙවන අලි - ඇතුන් ඇතුළු තෘණ උලා කන වන සතුන්ය. මේවා වළකන්නට ගිය වනජීවී නිලධරයෝ බොහෝවිටම "පස්‌ස බිම ඇනගත්තේ" බලය හා නිලය හමුවේ ඔවුන්ද අසරණ වූ නිසාය. ඇතැම් ක්‍ෂේත්‍ර වනජීවී නිලධාරීහු හරක්‌, ජාවාරම්කරුවන්ගේ පැත්ත ගෙන "සම්තින්" එකක්‌ හොයා ගන්නටද අමතක නොකළහ.
උඩවලවින්, ලුණුගම්වෙහෙරින් වස්‌ගමුව වැනි ප්‍රධාන පෙළේ ජාතික වනෝද්‍යාන වෙතද මේ ගවයින් ගාල්කිරීමේ ප්‍රශ්නය දුරදිග ගියේය. කෙතරම් දුරදිග ගියේද කියතහොත් මෙම
වනෝද්‍යාන ත්‍රිත්වය අවටින් වාර්තාවුණු අලි - මිනිස්‌ ගැටුමේ ප්‍රබලත්වය, මියගිය මිනිසුන්ගේ සහ අලින්ගේ ප්‍රමාණය මෙම වනෝද්‍යානවලට ගවයින්ගෙන් ඇති බලපෑම ඉතා හොඳින් පසක්‌ කරවයි. සැබැවින්ම අලින් ගම් වදින්නේ ආහාර හා ජලය සොයාගෙන මිස වෙන කරුණකට නොවේ. වනෝද්‍යාන තුළ ආහාර හා ජලය ඇති පමණ තිබේ නම් අලින් ගම්වැදීමට කිසිදු හේතුවක්‌ නැත. එහෙත්, අද ප්‍රධාන වශයෙන්ම මේ සඳහා බලපා ඇති කාරණය අලින්ට කන්නට ඇති දේ ගෘහාශ්‍රිත හරකුන් විසින් බින්දුවටම උලා කෑමය.
වියළි කලාපයේ ඇතැම් වනෝද්‍යාන මේ ශාපයෙන් ගැලවී ගත්තේ ඒ ආශ්‍රිතව දේශපාලන හයිකරුවන් බවට පත් වූ ගව හිමියන් නොමැතිකම නිසාය. නැතිනම් හෝර්ටන්තැන්න වැනි ඉහළ ජෛව විවිධත්වයක්‌ ඇති වනෝද්‍යානද සුනද්දූලි වනවා නොඅනුමානය. නමුත් මේ හරක්‌ ව්‍යාපාරිකයන්ගේ "කල්ල මරේ" දමමින් තිස්‌වසරක කුරිරු යුද්ධය රජය මගින් නිරාකරණය කෙරිණි. දැන් රටේ කොයිතැනකත් නොබියව ගමන් කළ හැකිය. හරකකු දක්‌කාගෙන වුව රටේ මෙහා කොනේ සිට එහා කොන දක්‌වා ගමන් කළ හැකිය. හරක්‌ ව්‍යාපාරිකයින් කල්පනා කළේ ඒ ගැනය. දකුණේ මොණරාගල, හම්බන්තොට ගිනි කසයට වේලෙන කල හෝ තිබෙන තණපිටි ප්‍රමාණවත් නොවන කල උඩවලවෙන්, ලුණුගම්වෙහෙරින්, වස්‌ගමුවෙන් ඔබ්බට තවත් තණපිටි සොයා ගිය ඔවුන්ට අපූරු ජාතික වනෝද්‍යානයක්‌ මුණ ගැසෙයි. ඒ මාදුරුඔයයි. මාදුරුඔය වනෝද්‍යානයෙන් තුනෙන් එක්‌ පංගුවක්‌ පමණම යුද්ධයේ බලපෑමට ගොදුරුව තිබූ අතර එම ප්‍රදේශයේ තිබුණේ මිනිසුන්ට පමණක්‌ නොව ගවයින් වැනි සතුන්ටද අනාරක්‍ෂිත ප්‍රදේශයක්‌ ලෙසය. එහෙයින්ම මෙම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම පාහේ වනවැදී තිබිණි. ඒ යුද්ධය විසින් වන සම්පතේ ආරක්‍ෂාවට සිදුවු යහපත් බලපෑමකි.
හෙක්‌ටයාර් පනස්‌ අටදහසක්‌ පමණ විශාල මෙම වනෝද්‍යානයේ මාදුරුඔය ජලාශ වේල්ලට උතුරු කොටස එදා නැගෙනහිර එල්ටීටීඊ පාලනයට නතුව තිබිණි. එපමණක්‌ නොව, 1983 වසරේදී ක්‍රියාවට නැඟුණු මාදුරුඔය ජලාශ ව්‍යාපෘතියේ දකුණු ඇළ ව්‍යාපෘතිය දිගු කරන්නට රජයට හැකි වූයේද එන්. ඩී. කේ. වැව නම් උද්‍යානය තුළ ඉදිවූ ජලාශය දක්‌වා පමණෙකි. අවසානයේදී එන්. ඩී. කේ. වැව දක්‌වාවත් සිවිල් ජනතාවට ගමන් කිරීමේ හැකියාවක්‌ යුද්ධය නිමාවනතුරු උදාවූයේ නැත. මේ හේතුව නිසාම වේල්ලේ උතුරු දිග කොටස ඉතා හොඳින් නිල්ල ගසා පැතිර තිබුණේ තණපිටි හා මානා කැලෑවෙන් පෝෂණය ලබමිනි. මහා පරිමාණ ගව ව්‍යාපාරිකයන්ගේ නෙත ගැටුණේ මෙම කැලෑ ප්‍රදේශයයි. වන අලින්ගේ නිජබිමක්‌ බවට පත්ව තිබූ මෙම ප්‍රදේශය තුළදී දවසේ ඕනෑම වේලාවකදී අලි -ඇතුන් දැකගන්නට හැකිවීම සුවිශේෂත්වයක්‌ විය.
එහෙත් අද මුළු ප්‍රදේශයම උදලු ගා ඇති තත්ත්වයට පත්ව ඇති මෙම ප්‍රදේශයේ දක්‌නට ඇත්තේ එළ හා මී ගවයින් බුරුතු පිටින් උලා කනු පමණෙකි. අලියකු - ඇතකු මෙම ප්‍රදේශයේ සෙවීම කළුනික සොයනවාටත් වඩා දුෂ්කර වූ දෙයකි. මාදුරුඔය උතුරු කලාපයෙන් අද වන විට අලින් ඇතුළු වන සතුන් අතුරුදන් වී ඇත. ඒ වෙනුවට එළ හා මී ගවයින් විසිදහසකට වැඩි ප්‍රමාණයක්‌ ඇතැයි වනජිවී නිලධාරිහු පවසති. යුද්ධය පවතිද්දී හරක්‌ ගෙන් තොර වනෝද්‍යානයක්‌ වූ මාදුරුඔයට මෙසේ හරක්‌ විසිදහසකට වැඩි ප්‍රමාණයක්‌ ආවේ කෙසේද?
එය පුදුම එළවන කතාන්දරයකි. උඩවලවට, ලුණුගම්වෙහෙරට මෙන් මාදුරුඔයට ද පැමිණ ඇත්තේ දකුණේ මොණරාගල සහ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කවල ගවයින්ය. මෙහි ඇති තෘණභූමි පිළිබඳව දැනගත් දකුණේ ගව ව්‍යාපාරිකයින් හරක්‌පට්‌ටි වශයෙන් දක්‌කාගෙන මෙන්ම ලොරි රථවලින් ප්‍රවාහනය කරමින්ද මෙම ගවයින් මාදුරුඔයට රැගෙනවිත් තිබේ. එපමණක්‌ නොවේ. හරක්‌ බලන්නන් (ගොපල්ලන්) ද මෙසේ එන්. ඩී. කේ. වැව ආශ්‍රිතව සහ අලුතෙන් නවීකරණය කරන ලද මහඔය - අරලගංවිල මාර්ගය ආශ්‍රිතව (මෙම මාර්ගය දිවෙන්නේ මාදුරුඔය උද්‍යානය මැදිනි) වාඩිගසා ගවයින් බැලීමේ කටයුතු කරගෙන යන්නේ කිසිදු චකිතයකින් තොරවය. එනම්, මෙම හරක්‌ ජාවාරමට විරුද්ධව අභීතව කටයුතු කළ හිටපු උද්‍යානපාලකවරයා වනජීවී අමාත්‍යාංශයේ ඉහළම බලධරයෙකුගේ නියෝගය පරිදි මාරුකර යෑවීමෙන් අනතුරුවය. දිගින් දිගටම වැටලීම් කරමින් උද්‍යානය තුළ ගව පාලන කටයුතු කළ පුද්ගලයින් අල්ලා අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු ඉහත පුද්ගලයාගේ උදහසට ලක්‌වූ මෙම උද්‍යාන පාලකවරයා වසරක්‌ තුළදී ස්‌ථාන හතරකට දඬුවම් මාරු වශයෙන් මාරුකර යවා තිබේ. ඉන් පසු මාදුරුඔය උද්‍යානයේ ගව ජාවාරම මහත් වේගයෙන් හිස එස වූ අතර මාදුරුඔය වේල්ලට උතුරින් එන්. ඩී. කේ. වැව දක්‌වා දැවැන්ත ප්‍රදේශයක්‌ තණකොළවලින් හිස්‌ව මුඩු බිම් බවට පත්ව තිබෙනු දක්‌නට ලැබේ. මෙම මහා ව්‍යසනය තම නෙත් දෙකෙන්ම දැකගන්නා ලෙස අපි මෙරට කුමන හෝ බලධාරියකුගෙන් ඉල්ලා සිටින්නට කැමතිය. ඒ සඳහා වැඩිකල් නොයා අද හෙට එහි යාම මෙරට ජෛව විවිධත්වය අගයන, පරිසරය, නිල්ල පිරුණු දේශයක්‌ ප්‍රාර්ථනා කරන බලධාරීන්ගේ වගකීමකි.
ඉකුත්දා අපි එහි කළ නිරීක්‍ෂණ චාරිකාවකදී දැකගන්නට ලැබුණේ මෙම ප්‍රදේශවලින් අලි - ඇතුන් පලාගොස්‌ ඇති ආකාරයකි. ඒ වෙනුවට සිය දහස්‌ ගණනක ගව රංචු උද්‍යානය අරක්‌ගෙන සිටි අතර, මාදුරුඔය ජලාශය, එන්. ඩී. කේ. වැව් ඉස්‌මත්ත හරක්‌ගේ පාරාදීස බවට පත්ව තිබිණි. ගවයින් කට ගෑ තෘණ ආහාරයට නොගැනීම අලියාගේ චර්යාවකි. එසේම ගව රංචුවලට අලියා බියක්‌ද දක්‌වයි. මේ නිසා වර්තමානයේදී මාදුරුඔය අලින්, ආහාර හිඟයකින් පෙළෙන අතර ගොවීන්ගේ වගාබිම් වෙත සේන්දුවීමට පටන් ගෙන ඇත. මෙහි ප්‍රතිඵලය කිසිදා අලි - මිනිස්‌ ගැටුම් වාර්තා නොවූ මාදුරුඔයෙන් දැන් දැන් එවන් සිද්ධීන් වාර්තාවීමය. එසේම හරක්‌ රංචුවලට මැදිවී ගමන් ගන්නා ගොපල්ලන් අලින්ගේ ප්‍රහාරවලින් කදිමට ආරක්‍ෂාවී හරක්‌ දක්‌කාගෙන උද්‍යානය තුළින් ගමන් ගන්නා අයුරුද අප නිරීක්‍ෂණය කළෙමු. වර්තමානයේ මාදුරුඔය ජලාශයෙන් තම ජල අවශ්‍යතා සපුරා ගැනීමටද අලින්ට හරක්‌ හා තරගයක්‌ දීමට සිදුව තිබේ. එතරම්ම ජලාශ අද්දර හරකුන්ගේ ග්‍රහණයට නතුව ඇත. හිටපු උද්‍යාන පාලකවරයාගෙන් ඈත්ව ගිය නීති විරෝධී ගව පාලන වැටලීම් දැන් දැන් නැවත සිදුවන බවක්‌ පෙනෙන්නට තිබෙන අතර වත්මන් උද්‍යාන පාලකවරයාගේ සහ නැගෙනහිර වනජීවී සහකාර අධ්‍යක්‍ෂවරයාගේ උපදෙස්‌ පරිදි නැවත වැටලීම් ආරම්භ වී තිබේ. එහෙත්, වනජීවී අමාත්‍යාංශයේ ඉහළම පුද්ගලයින්ගේ නියෝග අනුව එම වැටලීම් නිෂ්ප්‍රභ වන අවස්‌ථාද ඇති බව අප වෙත වාර්තා වේ. වනජීවී සම්පත රකින්නට ඇති අයවලුන්ගෙන්ම මෙවන් තත්ත්වයක්‌ උදාවේනම් අපට කියන්නට ඇත්තේ "ඉබ්බා දියේ දැම්මා ම ඇන්නෑවයි" කීවාලු ලෙස ඇති පැරැණි කියමන නොවේද? හම්බන්තොට මොණරාගල හරක්‌ මෙසේ මාදුරුඔයට පැමිණ උලා කන විට මේ රටේ වනජීවී සංරක්‍ෂණයට යන කල දසාව කුමක්‌දැයි අපට අසන්නට සිදු වේ.
සටහන සහ ඡයාරූප
 ජගත් කණහැරආරච්චි


Thursday, May 1, 2014

වතුර බෝතල් ලොරිය පෙරලී බදුල්ල මහියංගණ මාර්ගයේ ගමන නවති

2014-05-01 ප.ව. 9:26

පානිය ජල බෝතල් ප්‍රවාහනය කරමින් තිබු ලොරියක් බදුල්ල මහියංගන මාර්ගයේ රිදිපාන ප්‍රදේශයේදී  අද (01)  පෙරවරු 10.30ට පමණ පාර හරහා  පෙරලීම නිසා එම මාර්ගයේ ගමනාගමනය මුලුමනින්ම ඇණහිටියේය.

ආදී වාසී කළු අප්පුගේ ශතකය හික් පොතු පෙට්ටියෙන් අවසන්

 2014-05-01 ප.ව. 3:07
දෙහිඅත්තකණ්ඩිය හෙන්නානිගල හිටපු ආදී වාසී නායක හා වයස්ගතම ආදිවාසී පුද්ගලයා වන තාලාවරිගේ කළු අප්පු (වයස114කට වැඩි) පෙරේදා සවස (30දින) දෙහිඅත්තකන්ඩිය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.
දේහය අංක 17, හේනානිගල දකුණ, නවමැදගම යන ලිපිනයේ වු නිවසේ මේ වන විට තැම්පත් කර ඇති අතර දේහය ආදිවාසි පාරම්පරික චාරිත්‍ර හා වත් පිළිවෙත් අනුව ඖෂධිය බත්හික් පොත්තෙන් හා ගැටකිරි වැල් ආදාරයෙන් සෑදු පෙට්ටියක දේහය තැම්පත් කෙරේ.
දරුවන් 10 දෙනකුගේ ( දරුවන් 06ක් හා දියනියන් 04ක් ) පියකු වු ඔහු පරම්පාරා හතරක මුණුබුරු,මිනිපිරියෝ 105 දෙනෙක් දුටහ.
හෙනානිගල පොදු සුසාන භූමියේදී ඉරිදා (04) සවස ආදිවාසී නායක දඹානේ වන්නිලා ඇත්තන් හා හේනානිගල ආදිවාසී නායක ගුණබංඩියා ආත්තන්ගේ ප්‍රධානත්වයෙන් අවසන් කටයුතු ආදී වාසි සිරිතට සිදු කෙරේ.
දඹානේ කන්දෙගන්වල සිටි කළුඅප්පු අතුලු පිරිස මහවැලි ඉඩම් ලැබ 1982 වසරේදී හෙනානිගලට පැමිණයේ අභාවප්‍රාප්ත මහවැලි ඇමැති ගාමිණි දිසානායක මහතාගේ ගේ ඇරියුමකට අනුවය. දඩයමෙන් ජීවත් වු ආදී වාසීන් කෘෂිකර්මයට යොමු කිරීමට හිටපු මහවැලි ඇමැතිවරයා සමත් විය.