Wednesday, November 6, 2013

අනුරාධපුර පංච පුද්ගල ගාතනයේ ප්‍රධාන සැක කරු ඊයේ සවස හසලකදී පොලිසියට කොටු වේ

රුපියල් ලක්‍ෂ 3කට පවුලක 5 ක්‌ මරා දමා රජරටම කම්පා වේ
පියාත් බරපතළ තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබයි
11/6/2013 8:09 AM
හේමන්ත රන්දුණු සහ පර්සි කුරුනේරු

අනුරාධපුර-පුත්තලම පාරේ විහාරහල්මිල්ලකුලම ප්‍රදේශයේ නිවසකට ඊයේ (05 වැනිදා) අලුයම ඇතුළු වී ඇති සාහසික පිරිසක්‌ එහි පදිංචිව සිටි මව, පුතා, දියණිය ඇතුළු පස්‌දෙනකු කපා කොටා කෲර අන්දමින් ඝාතනය කර පලාගොස්‌ ඇත.

සාහසිකයන්ගේ ප්‍රහාරයට ලක්‌වූ පියා ද බරපතළ තුවාල ලබා ඉතාම අසාධ්‍ය තත්ත්වයෙන් අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ලොරි රියෑදුරකු සහ සහායකයකු හසලක පොලිසිය මගින් ඊයේ දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සාහසික ඝාතන නිසා අනුරාධපුර ප්‍රදේශයම දැඩි කම්පාවට පත්ව ඇති අතර සිද්ධිය වූ ස්‌ථානය වෙත දහස්‌ ගණනින් ජනතාව පැමිණ සිටියහ.

මෙහිදී ඝාතනයට ලක්‌ව ඇත්තේ 40 හැවිරිදි පී. ඉඳුමිණි ශ්‍රියානි (මව), 23 හැවිරිදි කේ. ඒ. සුමිත් උදය කුමාර (පුතා), 13 හැවිරිදි කේ. ඒ. තක්‍ෂිලා කුමුදු කුමාරි (දියණිය) යන අය හා ඝාතනයට ලක්‌වූ ඉඳුමිණි ශ්‍රියානිගේ වැඩිමහල් සොහොයුරිය වූ 46 හැවිරිදි පේමදාසගේ ප්‍රේමාවතී, ඇගේ පුත්‍රයා වන 25 හැවිරිදි රාජපක්‍ෂගේ ප්‍රියන්ත යන අයයි.

මොවුන් දෙදෙනා මෙම සිද්ධිය වන අවස්‌ථාවේ ඉඳුමිණි ශ්‍රියානිගේ නිවසේ නවාතැන්ගෙන සිට ඇති බව පොලිසිය පවසයි.

සාහසිකයන්ගේ ප්‍රහාරයට ලක්‌ව බරපතළ තුවාල ලැබූ 47 හැවිරිදි කේ. ඒ. පියදාස මහතා (මියගිය ඉඳුමිණිගේ සැමියා) අසාධ්‍ය තත්ත්වයෙන් අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මුදල් කොල්ලකෑමේ අරමුණින් නිවසට ඇතුළු වූ පිරිසක්‌ මෙම කෲර ඝාතන කරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටින පියදාස මහතා අනුරාධපුර නගරයේ ව්‍යාපාරික ස්‌ථානයක සුළු සේවකයෙකි. ඔහු සිය බිරිඳ, පුත්‍රයා සහ දියණිය සමඟ අනුරාධපුර විහාරහල්මිල්ලකුලම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිට ඇත.

විහාරහල්මිල්ලකුලම ගම්මානය පියදාසගේ බිරිඳ වන ඉඳුමිණිගේ උපන් ගම වන අතර ඇගේ ඥාතීහු බොහෝ දෙනෙක්‌ ඒ අවට පදිංචිව සිටියහ.

මෙම සිද්ධියෙන් ඝාතනයට ලක්‌ වූ ඉඳුමිණිගේ වැඩිමහල් සොහොයුරිය වන ප්‍රේමාවතී සිය පුත්‍රයා සමඟ මහියංගණය හසලක කොටියාපොල ප්‍රදේශයේ පදිංචිව සිට ඇත. ප්‍රේමාවතීගේ සැමියා හදිසියේ මියයැම නිසා ඇය සිය ඉඩම සහ නිවස රුපියල් තුන්ලක්‍ෂ පනස්‌දහසක මුදලකට විකුණා දමා පුත්‍රයා ද සමඟ අනුරාධපුර විහාරහල්මිල්ලකුලම ප්‍රදේශයට පැමිණ ඇත්තේ එහි පදිංචිවීම සඳහාය.

එම ප්‍රදේශයෙන්ම රුපියල් ලක්‍ෂ තුනකට ඉඩමක්‌ ද මිලදී ගැනීමට සූදානම් කර ගෙන සිටි අතර අදාළ මුදල් ඊයේ (5 දා) ගෙවීමට නියමිතව සිට ඇත.

මොවුන් ඉඩකඩම් විකුණා දමා මහියංගණයේ සිට අනුරාධපුරයට පැමිණ ඇත්තේ පෙරේදා (04 වැනිදා) සවස්‌ කාලයේදීය.

ප්‍රේමාවතී සිය පුත්‍රයා ද සමඟ බඩු පටවාගෙන ලොරියකින් පැමිණ ඇති අතර ඒ බඩු සියල්ල මිලදී ගැනීමට සූදානම් කර තිබූ ඉඩම අසල නිවසක තබා ඇත.

පසුව ප්‍රේමාවතී සහ පුත්‍රයා විහාරහල්මිල්ලකුලමේ සිය නැගණියගේ නිවසේ නවාතැන් ගැනීමට ගොස්‌ තිබේ. මහියංගණයේ සිට බඩු පටවාගෙන ආ ලොරියේ රියෑදුරු සහ සහායකයන් දෙදෙනා ද ප්‍රේමාවතීගේ නැගණිය වූ ඉඳුමිණිගේ නිවසට ගොස්‌ ඇත්තේ රාත්‍රි ආහාර ගැනීම සඳහාය.

එදින එම නිවසේ පුංචි මත්පැන් සාදයක්‌ ද පවත්වා ඇත. ලොරියේ පැමිණි රියෑදුරු සහ එක්‌ සහායකයකු ආපසු මහියංගණය බලා යැමට පිටත්ව ඇත්තේ පෙරේදා (4 දා) රාත්‍රි 8.00 ට පමණය. මහියංගණයේ සිට පැමිණි ලොරියේ සිටි අනෙක්‌ සහායකයා එදින එම නිවසේ නතර වී ඇත්තේ පසුදා පිටත්ව යැමටය.

එදින රාත්‍රියේ එම නිවසේ මත්පැන් පානය කරමින් විනෝද වී ඇති පියදාස ඇතුළු පිරිස නින්දට ගොස්‌ ඇත්තේ රාත්‍රි 10.00 ට පමණය.

පසුදා එනම් ඊයේ (05 වැනිදා) අලුයම 6.30 ට පමණ ඉඳුමිණිගේ බාල සොහොයුරු එම නිවසට පැමිණ ඇත්තේ නිවස දෙසින් කිසිදු ශබ්දයක්‌ නැති නිසා එය පරීක්‍ෂා කිරීමටය.

ඉඳුමිණිගේ බාල සොහොයුරාගේ දෙහැවිරිදි පුත්‍රයා සෑම උදෑසනකම තම නිවසට රැගෙන ගොස්‌ එම දරුවා හුරතල් කර උදෑසන කිරි වීදුරුවක්‌ ලබාදීමටද පියදාස සහ ඉඳුමිණි පුරුද්දක්‌ ලෙස කරගෙන ගොස්‌ තිබේ.

එහෙත් ඊයේ (05 දා) අලුයම පියදාස හෝ ඉඳුමිණි දරුවා සුරතල් කිරීමට නොපැමිණි නිසා ඉඳුමිණිගේ සොහොයුරා ඉඳුමිණිගේ නිවසට පැමිණ ඇත.

ඒ අවස්‌ථාවේ ඉඳුමිණිගේ නිවසේ දොරවල් විවෘත කර තිබී ඇති අතර එහි ඉඳුමිණි, පියදාස ඇතුළු පිරිස බිම වැටී සිටිනු දැක ඇත. පසුව ඉඳුමිණිගේ සොහොයුරු සිය බිරිඳ සහ ප්‍රදේශවාසීන් සමඟ එක්‌ව නිවසට පැමිණ පරීක්‍ෂා කරද්දී එහි සිටි සියලු දෙනා බරපතළ කැපුම් තුවාල සහිතව සිටිනු දැක තිබේ.

නිවසේ කාමරයක වැටී සිටි පියදාස කෙඳිරිගාමින් සිට ඇති අතර ඔහු වහාම අනුරාධපුර රෝහලට ගෙනයැමට ප්‍රදේශවාසීන් කටයුතු කර ඇත.

එහි සිටි ඉඳුමිණි, ඇගේ දියණිය, පුත්‍රයා, සොහොයුරිය සහ සොහොයුරියගේ පුත්‍රයා ද ඒ වන විට ඝාතනයට ලක්‌ව සිට ඇත.

මේ පිළිබඳව අනුරාධපුර පොලිසිය වෙත දැනුම් දීමට ප්‍රදේශවාසීන් කටයුතු කර ඇති අතර විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ වහාම එහි පැමිණ පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

ඝාතනයට ලක්‌වූ ඉඳුමිණිගේ සොහොයුරා පොලිසියට පවසා ඇත්තේ මහියංගණයේ සිට ලොරියෙන් පැමිණ නිවසේ නවාතැන් ගෙන සිටි සහායකයා සැක සහිත අන්දමින් හැසිරුණු බවයි.

මෙම සිද්ධියෙන් පසු එම ලොරි සහායකයා අතුරුදන්ව ඇති බව පොලිසිය පවසයි. පෙරදින රාත්‍රි මත්පැන් සාදය පැවැත්වෙද්දී ලොරි සහායකයා එම නිවසේ ඇතුළත ඇවිදිමින් සිය ජංගම දුරකථනයෙන් ඇමතුම් රැසක්‌ ගත් බව ද හෙළිවී තිබේ.

ඝාතනයට ලක්‌ වූ ප්‍රේමාවතී ඉඩම මිලදී ගැනීමට රැගෙන ආ මුදල් මෙම නිවසේ තිබී ඇති අතර එම මුදල් කොල්ලකෑමට මොවුන් ඝාතනය කරන්නට ඇති බවට සැක පහළ කරයි.

සාහසිකයන් මෙම ඝාතන කිරීමෙන් පසු නිවසේ සියලු බඩු බාහිර අවුස්‌සමින් මුදල් ඇතුළු වටිනා දේපොළ සොයා ඇති බව පොලිසිය පවසයි.

ඝාතනයට ලක්‌ වූ ප්‍රේමාවතී සහ ඇගේ දරුවා වන ප්‍රියන්තගේ සිරුරු නිවසේ සාලය අසල වැටී තිබී ඇති අතර ඉඳුමිණිගේ සහ දියණියගේ සිරුරු කාමරයක වැටී තිබී ඇත.

බරපතළ තුවාල ලැබූ පියදාස සහ මියගිය පුත්‍රයා වන උදය කුමාරගේ සිරුරු වැටී තිබී ඇත්තේ වෙනත් කාමරයකය.

මොවුන් සියලු දෙනාගේම හිස ප්‍රදේශයේ බරපතළ කැපුම් තුවාල ඇති අතර පොරවක්‌ වැනි ආයුධයකින් එම පහරදීම කර ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.

මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සෙවීම සඳහා පොලිස්‌ නිල සුනඛ අංශයේ "බ්ලැකී" බැල්ල රැගෙන ආ අතර පොලිස්‌ ඇඟිලි සලකුණු අංශය ද එහි පැමිණ සිටියහ.

මේ අතර අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය ඊයේ (05 දා) දහවල් සිද්ධිය වූ ස්‌ථානය වෙත පැමිණ මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය පැවැත්වූවාය.

ඝාතනයට ලක්‌වූවන්ගේ මළ සිරුරු අනුරාධපුර රෝහල වෙත රැගෙන ගොස්‌ ඇති අතර පශ්චාත් මරණ පරීක්‍ෂණය එහිදී සිදුකිරීමට නියමිතව තිබිණි.

හසලක පොලිසිය අත්අඩංගුවට ගත් ලොරි රියෑදුරු සහ සහායකයාගෙන් ප්‍රශ්න කරගෙන යන අතර අනෙක්‌ සහායකයා අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රවී විඡේගුණවර්ධන, නියෝජ්‍ය පොලිස්‌පති රංජිත් පද්මසිරි, පොලිස්‌ අධිකාරි මහේෂ් සේනාරත්න මහත්වරුන්ගේ උපදෙස්‌ මත මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක තිස්‌ස විතානගේ, පොලිස්‌ පරීක්‍ෂක ප්‍රභාත් ගාල්ලගේ ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.
------------------------------------News Update @ 11/6/2013 8:09 AM
අනුරාධපුර පංච පුද්ගල ගාතනයේ ප්‍රධාන සැක කරු ඊයේ සවස හසලකදී පොලිසියට කොටු වේ
News Update @ 11/6/2013 8:09 AM
අනුරාධපුර පංච පුද්ගල ගාතනයේ ප්‍රධාන සැක කරු ඊයේ සවස හසලකදී පොලිස් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු ලග්ගල පොලිස් වයමට අයත් ප්‍රදේශයක අයෙක් වන අතර හමුදා සේවයෙන් පැන ගිය අයෙක් බවට ප්‍රශ්න කිරිම් හමුවේ හෙලි වෙමින් පවති. වැඩි දුර පරික්ෂණ සදහා එම පුද්ගලයා අද උදේ පාන්දර අනුරාධපුර පොලිසිය විසින් රැගෙන ගොස් ඇත

No comments:

Post a Comment