Friday, October 12, 2012

නැති වූ ගවයන් සොයා මාදුරුඔය වන උයනට ගිය තිදරු පියා වල් අලි පහර දීමෙන් මරුට









මහියංගනය - රංජිත් කරුණාවීර


නැති වූ තම ගවයන් සොයා මාදුරු ඔය ජාතික වන උද්‍යානයට ගිය තිදරු පියෙකු වල් අලි පහරදීමෙන් මිය ගොස්‌ සිටිය දී පෙරේදා (10 වැනිදා) දින ගම්වාසීන් විසින් ඔහුගේ මළ සිරුර සොයා ගෙන ඇත.

හෙනානිගල මහවැලි ගම්මානයේ පදිංචිව සිටි ඩබ්. එම්. ජයසිංහ නමැති මිය ගිය පුද්ගලයා තම ගව පට්‌ටියෙන් නැති වූ ගවයන් තිදෙනෙකු සොයා 09 දින උදෑසන මාදුරු ඔය ජාතික වන උද්‍යානය තුළට ගොස්‌ ඇත.

පසුදින උදෑසන වනතුරුත් ඔහු යළි නිවසට නොපැමිණීම නිසා ගම්වාසීන් ඔහු සොයා වනයට ගොස්‌ තිබේ. එහිදී මාදුරු ඔය ජාතික වන උද්‍යානයේ කලවනාගල ප්‍රදේශයේදී වල් අලි පහරදීමෙන් මිය ගොස්‌ සිටි ඔහුගේ දේහය ගම්වාසීන්ට හමු වී ඇත.

ගම්වාසීන් විසින් වනජීවී නිලධාරීන්ට සහ දෙහිඅත්තකණ්‌ඩිය පොලිසියට ඒ බව දැනුම් දී ඇත. පසුව දෙහිඅත්ත කණ්‌ඩිය අධිකරණයේ නිලධාරීහු සිද්ධිය වූ ස්‌ථානය නිරීක්‍ෂණය කිරීමෙන් පසු දේහය මරණ පරීක්‍ෂණ සඳහා රැගෙන ගොස්‌ තිබේ. සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ කටයුතු දෙහිඅත්තකණ්‌ඩිය පොලිසිය සිදු කරයි.

No comments:

Post a Comment