Sunday, October 27, 2013

අන්තිම පාරටත් මම මේ කියන්නේ ඇමතිතුමාට ඔය කියාගෙන යන කථාව වහාම නතර කරන්න ආදිවාසි නායකයා කියයි.

අන්තිම පාරටත් මම මේ කියන්නේ ඇමතිතුමාට ඔය දෙනවා කියන වාහනය එක්ක මාව ගාවලා  කියාගෙන යන කථාව වහාම නතර කරන්න ආදිවාසි නායකයා කියයි.

මාම කැච්චක් හොදමයි.....  හුග දවසකින් මාධ්‍ය සමග කථා බහක් කරන්න අවස්ථාවක් ලැබුනෙ.  පසුගිය කාලෙ ආදිවසින් ගැන , මම ගැන පත්තරවල ටිවිවල රේඩියෝවල ගොඩාක් කථාබහට ලක් වුණා. විවිධ දේවල් කථා කරලා තිබුණා. මම ඒවාට උත්තර දෙන්න ගියේ නෑ. නිහඩවෙලා බලා ඉන්නකොට හැම දාම මොකක් හරි යනවා.  මේ ගොඩක් ඒවාගෙන් අපේ පරම්පරාව හෑල්ලුවට ලක්කරන ඒවා තමයි වැඩිපුරම යන්නෙ. මට ආරංචි උනා මීට සති කිහපයකට කලින් පත්තරේක ගියා කියලා .... සංස්කෘතික කටයුතු ඇමතිතුමා කියනවා කියලා මම වාහනයක් ඉල්ලලා මහා කරදරයක් කරනවා කියලා. ඉස්සර හිටපු නායකයෝ නම් මෙහෙම කරදර කරේ නෑ. ගමන් බිමන් ගියේ පයින්. දැන් ඉන්න නායකයෝ ගමන් බිමන් යන්න වාහන ඉල්ලලා පොරේ කියලා ඇමතිතුමා පත්තරේට කිවුවා කියලා පත්තරේ ගිහින් තියෙනවාලු... ඒ ගැන මට නම් කියන්න තියෙන්නේ මම නම් වාහනයක් මෙච්චර කාලෙකට ඉල්ලලා නැ කියලා. මම 2010 වර්ෂයේදී අති ගරු ජනාධිපතිතුමන් සමග පැවති සාකච්ඡාවක දී මම කිවුවා...ආදිවාසී ගම්මාන 58ක් ලංකාවේ තියෙනවා මට ඒවා ගැන හොයලා බලන්න ඕන. ආදිවාසීන්ගේ නායකයා විදියට මම ඒ අයගේ දුකේදී කරදරේදී සැපේදී හොයලා බලන්න ඕන කිව්වා. ඒ වගේ වෙලාවට ඒ ගම්මානවලට යන්න ඕන වහනයක පහසුකම් දෙන්න පුලුවන්නම් හොදයි කියලා මම කියපු වෙලාවේදී ජනාධිපතිතුමා  ඒ වෙලාවේ ම වාහනයක් දෙන්න කියලා ඇමතිතුමාට කිව්වා. මම ඒ වෙලාවෙත් ජනාධිපතිතුමාට කිව්වේ මට වාහනයක් ලබා දුන්නත් ඒවා නඩත්තු කරන්න පහසුකම් නැති නිසා මහියංගන ප්‍රදේශයේ රජයේ කාර්යාල තියෙනවා...ඒවා තමයි පොලිසිය, ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලය, වනජිවි කාර්යාල, නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් කාර්යාලය වගේ ... එම කාර්යාලවල තියෙන වාහන මගේ ගමන් අවශ්‍යතාවලව නිදහස් කරලා දෙන්න කියලා මම එහිදී ඉල්ලුවා විතරයි. ඒ විදියටම අද වෙනකොටත් මහියංගන ප්‍රාෙද්ශිය ලේකම්  කාර්යාලයේ තියෙන වාහන දෙකෙන් එකක් මගේ ගමන් වලට ලබා දෙනවා. ඒ තියෙන වාහන දෙකෙන් එකක් කැඩිලා තියෙන්නේ. මගේ වරිගයේ ජනතාවගේ ප්‍රශ්න / ගැටලු වලදී මම ප්‍රාෙද්ශිය ලේකම්  කාර්යායේ තියෙන වාහනය ඉල්ලගෙන තමයි හොයල බලන්න යන්නෙ. ලේකම් කාර්යාලයේ තියෙන වාහන දෙකෙන් එකක් ත්‍රිකුණාමලය වාකරේ වැනි දුර පළාත් වලට ඉල්ලගෙන ගියාම සමහර විට දවස් දෙකේ තුනේ එන්න වෙන්නේ නෑ. මම ලේකම් කාර්යාලයේ වාහනය දවස් දෙක තුනක් ‍පාවිච්චියට ගත්තාම කාර්යාලයේ වාහනය මගින් කලයුතු වැඩ කටයුතු ගොඩ ගැහෙනවා. එතකොට ප්‍රා දේශීය ලේකම් තුමන්ලාටත් මන් නිසා කරදර ගොඩකට මුහුණපාන්න සිද්ද වෙනවා. මහියංගනය කියන්නේ ලොකු ප්‍රදේශයක් නෙ. වැඩ ගොඩ ගැහුනම නිළධාරින්ටමයි කරදරේ.
සංස්කෘතික කටයුතු ඇමතිතුමා පසුගිය කාලේ කියලා තියෙනවා මම වාහනයක් ඉල්ලා කරදර කරනවා. මීට පෙර හිටපු නායකයො වාහන ඉල්ලුවේ නැ කියලා. මම අද ඇමතිතුමාට කියනවා මම පිලිගන්නවා මගේ පියා තිසාහාමි ගමන් බිමන් වලට වාහන ඉල්ලුවේ නැ කියලා. මට වගේ ඒ කාලේ මගේ පියාට රට වටේ යන්න උනේ නෑ. මම ලංකාවේ ආදිවාසීන්ගේ නායකයා බවට පත් වෙලා මේ වෙනකොට වසර 15ක් වෙනවා. මේ වසර 15දී අපේ ආදිවාසි පරම් පරාවේ ජනතාවගේ වැඩ කටයුතු වලට වඩා රජයේ නිළධාරින්ගේ හා ඇමතිතුමන්ලාගේ ආරාධනාවලට තමයි ගමන් බිමන් යන්න සිද්ද උනේ. ඔය ඇමතිතුමා කියන විදියට ඒ අයගේ ඔය වගේ එක එක ආරාධනාවලට කථා කරන කොට මට කොළඹට පියාඹලා යන්න අත්තටු නෑ. එහෙනම් නායකතුමා හෙට උදේ කොළඹට ඇවිත් ඉන්න කියන කොට ඇමතිතුමා කියන විදියට මම ඒවට වාහනයක් නැතුව පයින් යන්න ඕන. එහෙම මම පයින් යන්න දින පහක් හයක් යයි.
සංස්කෘතික කටයුතු ඇමතිතුමා කියනවා ලෝකෙ මෙච්චර කාලෙකට ආදිවාසී නායකයෙක් තමන්ගේ ගමන් බිමන් වලට වාහන ඉල්ලලා නෑ කියලා. ඒකත් මම පිලිගන්නවා...මම විස්වාස කරනවා. හැබැයි එහෙනම් එම නිළධාරින්ගේ වැඩවලට ඇමතිවරුන්ගේ වැඩවලට මට ආරාධනා නොකර ඉන්න ඕන.  ඒ කාලෙ රට හැම තැනම කැලෑ තිබ්බෙ. ලග ගම්මානවලට විවිධ අවශ්‍යතාවලට පයින් ගමන් බිමන් ගියේ අඩි පාරවල් දිගේ. අද වෙන කොට පාරවල් හදලා තියෙනවා. වාහන ගෙන්වලා තියෙනවා. ඔය කියන ආරාධනාවලට යන්න ඔය කියන විදියට යන්නනම් මට ආන්ඩුවේ රස්සාවක් එක්ක පඩියක් හම්බවෙන්ඩ ඕන. මට කොහෙන්ද වාහන වලට ගෙවන්න සල්ලි? මට වෙන ආදායමක් නැත්නම්, පහසුකමක් නැත්නම්, මම ඔයවගේ ඒවාට වාහනයක් නැතුව පයින් යන්නෙ කොහොමද? ඔය ප්‍රශ්නයක් වුණ දෙනවා කිව්ව වාහනය ගැන කථා කරනකොට සංස්කෘතික කටයුතු ඇමතිතුමා හැමදාම කියන්නේ මම ඒක ඉල්ලුවා කියලා. මට වාහනයක්  උවමනා නෑ. වාහනයක් ඉල්ලලා තියෙනවා නම් තියෙන්නේ ආදිවාසි කෞතුකාගාරයේ වැඩ කටයුතු වලට. එතැන වැඩවලට හැම මාසෙ ම කොළඹ යන්න ඕන වෙනවා. ඒ පහසුකම ලබාගන්න තමයි වාහනයක් එහාට ඉල්ලලා තියෙන්නේ. මට වාහනේක උවමනාවක් නෑ. හැබැයි සංස්කෘතික කටයුතු ඇමතිතුමා කියන්නේ නායකතුමා වාහනයක් ඉල්ලලා කරදර කරනවා කියලා. අනිත් එක මේ වාහනය දෙනවා කියලා පොරොන්දු උනේත් ඇමතිතුමා ම තමයි. මට බොරුකියන්ඩ උවමනාවක් නෑ අනිත් මිනිස්සු වගේ. එදා සංස්කෘතික කටයුතු ඇමතිතුමා මේ පොරොන්දුව අපිට දෙන කොට රජයේ නිළධාරින් විශාල පිරිසක් අපි ඉදිරිපිට හිටියා. ඒ වගේ අපිට පොරොන්දු වෙලා පසුගිය ලෝක ආදිවාසී දින සැමරුමේ පෙර දින දක්වා ම ඒ පොරොන්දුව එසේම තිබ්බා. එදා 09 දින උදේ වෙනකොට න්‍යාය පත්‍රයේ තිබ්බ හත්වන අංගය ඉවත් කරන්ඩ කියලා නිළධාරින්ට ඇමතිතුමා කියලා තිබුනා. ඒ න්‍යාය පත්‍රයේ හත්වන අංගය ලෙස තිබ්බෙ ආදිවාසී නායක තුමාට රථයක් ලබාදීම කියලා.  න්‍යාය පත්‍රයෙන් එම අංගය ඉවත් කරලා තමයි එදා උත්සවය පැවැත් උනේ. මම එදාත් ඒ ගැන ප්‍රශ්න කරේ නෑ. උත්සවය ඉවර වෙලාත් ඉවර මම ඒ ගැන ප්‍රශ්න කරේ නෑ. සතුටින් උත්සවයේ වැඩ කටයුතු නිමා කරා. උත්සවය අවසන් කරලා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමිය මගෙන් ප්‍රශ්න කලා උත්සවය ගැන නායකතුමා මොනවාද හිතන්නේ කියලා. මම ඒ වෙලාවෙත් කිව්වේ උත්සවය හොදට ම කෙරුනා කියලා. ඊට දවස් දෙකකට පස්සේ මේ ප්‍රශ්නය ඇවිස්සුවෙත් ඇමතිතුමා ම තමයි. උත්සවයේදී ආදිවාසින් සදහා ලක්ෂ 4ක විට දුන්නා කියලා කියලා තිබුනා. බුලත් කොළ 40000ක් තිබුනා, පුවක් ගෙඩි 40000ක් තිබුනා, දුන්කොල 500ක් තිබුනා, හුනු පැකට් 500ක් තිබ්බාලු.  බුලත් කොළ 40000ක් තිබුනා කිව්වාට ඒ වාගෙන් බාගයක් නරක් වෙලා තිබුනෙ. ඒ ගැන මම මොනවත් ම කියන්න ගියේ නෑ ඒ දවස්වල. පස්සෙ ඇමතිතුමා ම ආදිවාසින්ගේ බුලත් වලට රුපියල් ලක්ෂ 4ක් වියදම් කරා කියලා කිව්වා. ඒක ඇහුවාම මම උඩ ගියා... එදා ආරාධිත අමුත්තන්ගේ කෑමවලටවත් එච්චර වියදමක් ගියේ නෑ. ආරාධිත අමුත්තන්ගේ කෑමවලට වියදම් වෙලා තියෙන්නේ රුපියල් 80000ක් විතර. උත්සවයට සතියකට පස්සෙ මාව හම්බ වෙන්ඩ පිරිසක් ආවා. එයාලා කෑගල්ල හා පොල්ගහවෙල ප්‍රදේශවල අය. පත්තරයක් පෙන්නලා මගෙන් ඇහුවා බුලත්වලට ලක්ෂ 4ක් ගියා කියලා ඇමතිතුමා කියනවා කියලා මේ පත්තරේ තියෙනවා ඒක ඇත්තද කියලා. මම කිව්වා මම ඒ සදහා ගිය වියදම දන්නේ නැ කියලා හැබැයි අපේ අය විට නම් කෑවා කියලා. එතකොට තමයි එයාලා මට කිව්වේ අපි තමයි මේ බුලත් කොල බුලත් කොටුවලටම ගිහින් එකතු කරලා එව්වේ කියලා. ඒ සදහා වියදමක් ගියේ නෑ කියලත් කිව්වා. මට ඒ කිව්ව කථා විශ්වාස කරන්ඩ පුලුවන් ඒ එවලා තිබුන බුලත් කොළ තට්ටුවල මැද්දෙන් බුලත් කොල නරක් වෙලා තිබුනා. ඒ වගේ බුලත් කොළ නරක් වෙන්නේ සති එකක් දෙකක් එක උඩ එක අතුරලා තට්ටු පිට තට්ටු තිබුනාම තමයි එහෙම නරක් වෙන්නේ. ඔන්න ඔහොම තමයි වෙලා තිබුනේ. මම බුලත්වලට ලක්ෂ 4ක් ගියාද රුපියල් 50000ක් ගියාද කියලා දන්නේ නෑ. අමාත්‍යාංශයෙන් මුදල් දුන්නාද නැත්නම් ඔය කියන පිරිස බුලත් එකතු කරලා අමාත්‍යාංශයට දුන්නාද කියලා මම දන්නේ නෑ. හැබැයි මම කියන්නේ මිනිහෙකුට කන්ඩ දීලා රට හැම තැනම කියවා කියවා යන්නේ නෑ. අපේ පරම්පරාවේ අයවත් එහෙම කරන්නේ නෑ. අහවල් අහවල් දේවල් අපි කන්ඩ දුන්නා කියලා පස්සේ කියන්නේ නෑ. මෙකද ඒක කාලා  ඉවරයිනේ. කාලා ඉවර උන දෙයක් ගැන පස්සෙ කථා කරලා වැඩක් නෑ. ඒක ඉවරයි. මේ වගේ වැඩවලින් අපේ පරම්පරාව හැල්ලුවට ලක්කරන එකම තමයි ඔය හැමෝම කරන්නේ. මම මේ සංස්කෘතික කටයුතු ඇමතිතුමාට කියන්නේ අපිට මේ දෙනවා කිව්ව වාහනය ගැන රට පුරා කිය කියා ඇවිදින කථාව වහාම නතර කර ගන්න කියලා. හැමදාම මේක අවුස්සලා අවුස්සලා අපේ පරම්පරාව හැල්ලු කරන්ඩ එපා කියලා තමයි මම ඇමතිතුමාට කියන්නේ. ඔය කියන කථා ඔතනින් ම නතර කරගන්ඩ.... ඇමතිතුමා කිව්ව බොරුව රටේ හැම කෙනෙක්ම දන්නවානේ. එදා ඒ පොරොන්දුව දෙනකොට එතන හිටපු  කට්ටිය දැන් මට කියනවා මේ මනුස්සයා මොනතරන් බොරුකාරයෙක්ද කියලා. ඇමතිතුමාගේ නම්බුව ආරක්ෂා කරගත්තොත් ඒක ඇමතිතුමාට ම තමයි. මම මේ කියන්නේ ඇමතිතුමාට මමත් මගේ පරම්පරාවත් හැල්ලුවට ලක්කරලා කරන කථා මෙතනින්ම නතර කරන්ඩ කියලා. එහෙම කරාම ඇමතිතුමාටත් හොදයි ...අපිටත් හොදයි. මට පුලුවන්නම් දෙපයින් ඔය කියන ගමන් යනවා... නැත්නම් ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයේ වාහනය තිබ්බොත් ඒකෙන් යනවා. අද වෙනකොට ඒකත් කැඩිලා බදුල්ලට අරන් ගිහින් හදන්ඩ දාලා. එහෙම හදලා ගෙනාපු දවසක ඒකෙන් ගමන් බිමන් යනවා. මම නැවතත් කියන්නේ මගේ ගමන් බිමන් වලට වාහනයක් ඉල්ලුවේ නෑ කියලා. ආදිවාසී ජන උරුම කේන්ද්‍රෙය් වැඩ කටයුතු සදහානම් වාහනයක් ඉල්ලලා තියෙනවා. එහෙම ඉල්ලපු ඉල්ලිම් ලිපි දිනත් එක්ක  අද වෙනකොටත් අපි ලග තියෙනවා. කාට හරි උවමනා නම් ඒ ලියුම් බලන්ඩ අපිට ඒවා දෙන්ඩ පුලුවන්.
පසුගියදා හේනානිගල පැවති  ලෝක ආදිවාසී දින සැමරුමේදී ජනාධිපතිතුමා ඉදිරිපිටදීම කැලෑවට යන්න අවසර දිලා ආදිවාසින් පස්දෙනෙකුට හැදුනුම් පත් පහක් දුන්නා. එදා ඒ දුන්න හැදුනුම් පත් පහම  විතරයි මේ වෙනකොට දීලා තියෙන්නේ. එදායින් පස්සේ මේ වෙනකම් වෙන එකක්වත් තාම දීලා නෑ. දැන් ඒ ගැන කථාවක්වත් නෑ.  අනික තමයි ඒ හැදුනුම්පත දුන්නා කියලා කිසිම වටිනා කමක් නෑ. උදේ හයට කැලේට ගිහින් සවස හයට නිවසට එන්ඩ  ඕන කියලා පමනක් අවසර දිලා තියෙනවා නම් ඒ දිලා තියෙන හැදුනුම්පතේ තියෙන වටිනා කම මොකක්ද? එහෙම කැලේට ගිහින් දඩයම් කරන්න නම් අවසර තියෙන්නේ  වනජිවි එකේ මහත්තුරුන් දඩයම් කරලා තැන්තැන් වල තියලා තියෙන දේවල් නම් අපිට සුරුස් ගාලා කැලේට ගිහින් අර ගෙන එන්න පුලුවන් වෙයි. හැබැයි කැලැවේ දඩයම් යනවා කියන්නේ මේ කැලේට රිංගපු ගමන් දඩයම් හම්බවෙනවා කියන එක නෙවෙයි. කැලේට ගිහින් දඩයමක් ලැබෙනතුරු දින දෙක තුනක් කැලේට වෙලා ඉදලා දඩයමක් ලැබුනාම ඒක අරගෙන ගෙදර එන එක තමයි දඩයමේ යනවා කියන්නේ. එහෙම නැතුව මේ උදේට කැලේට රිංගලා හවස හයට ගෙදර එන කථාවක් නෙවෙයි. අපිට කැලැවෙ යන්න බැරිවෙන්න දාලා තියෙන නිති එදත් එහෙමයි අදත් එහෙමයි. වෙනසක් වෙලා නෑ. හැබැයි රජයෙන් හැම වෙලේ ම කියන්නේ ආදිවාසී පරම්පරාව ආරක්ෂා කර ගන්ඩ ඕන. අපේ ඉතිහාසය ඒක තමයි ඒ නිසා අපි ඒක ආරක්ෂා කරගන්න වැඩ කරන්න ඕන කියලා නිතරම කියනවා. හැබැයි එහෙම කියලා අපිට කැලේට යන්න බැරිවෙන්ඩ හේනක් වගා කරගන්න බැරිවෙන්න නිති දානවා.  අපිට තියෙන ගැටලුව තමයි අපිට කැලැව තහනම් කරලා අපේ පරම්පරාව ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා. අපේ පරම්පරාවේ දරුවෙක් කැලේට එක්කගෙන ගිහින් මේක මේ ඖෂදය, මේ ගහ මෙන්න මේ වගේ වටිනා කමක් තියෙන ශාකයක්, අර ඉන්නේ මුවා ගෝනා අලියා ඒ සතුන් මෙන්න මෙහෙම තමයි සද්ද කරන්නේ හැසිරෙන්නේ, මෙන්න මෙවගේ සුවදින් තමයි ඒ සතුන්ගේ ගමන බිමන හැසිරිම් හදුනා ගන්නේ කියලා අද වෙනකොට අපිට උගන්වන්න බැරිවෙලා තියෙනවා. අපේ දරුවන්ට ඒව අද පාසැල්වලදී තමයි උගන්වන්න වෙලා තියෙන්නේ. ඒ අයට කැලේට ගිහින් ප්‍රායෝගික අත්දැකිම් ගන්න අත්දැකිම් විදගන්න අවස්තාව නෑ. මෙහෙම යන කොට අපේ පරම්පරාවේ වැඩිහිටි අය මිය ගිය ගමන්ම අපේ පරම් පරාව ඉවරයි. මට තේරෙන විදියට  අපේ ආදිවාසි ජනතාව හැමෝටම කරදරයක් ඒක නිසා තමයි මේ වගේ වැඩ කරන්නේ. මේ වගේ විවිධ කථා කියන්නේ . දැන් මේ වේ ගෙන යන දේවල් දැක්කම ඇහෙන කථා ඇහුවාම මට නම් එහෙම තමා හිතෙන්නේ. අපේ පරම්පරාව විනාශ කරන්න තමයි මේ හැම දෙයක්ම කරන්නේ. අපේ පරම්පරාව ආරක්ෂා කරනවානම් අපේ පරම්පරාවේ වටිනාකමක් තියෙනවානම් අපිට මේ විදියට සලකන්නේ ඇයි කියලා මම ප්‍රශ්න කරනවා. අපි බෙහෙත් ටිකක් ගන්න ගියාම, පොලිසියට අවශ්‍යතාවයකට ගියාම, ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලයට ගියාම ඒ අය දුවලා ඇවිත් මොකටද ආවේ කියලා අහලා ඉක්මනින්ම වැඩේ කරලා දෙනවා. අපේ පරම්පරාවේ අයට හැමෝම උදව් කරනවා. හැබැයි
ඒ මොනවා උනත් අපේ පරම්පරාව ආරක්ෂා කරන්න ඉන්න ඇමතිවරු වග කිවයුතු නිළධාරින් ඒ රාජකාරිය ඉටු කරන්නේ නෑ කියන්නේ අපේ පරම්පරාවේ ඉදිරිය බොහොම පොඩි එකක් වෙයි කියලයි මම හිතන්නේ. මේ පරම්පරාව ආරක්ෂාවෙනව නම් අපිට පහසුකම් තියෙන්න ඕන හා ලැබෙන්න ඕන. ලෝකය දියුනු වෙනවා. මිනිස්සු දියුනු වෙනවා. ගම රට දියුනුවෙනවා. එහෙම දියුනු වෙනකොට කැලැවෙල ජිවත් වෙන මිනිස්සුත් ඒ දියුනුව දැක ගන්න ඕන. හැබැයි ඒ දියුණුව දකින්න ඕන කියලා මහා සමාජය වගේ මේ තැන විශාන කරගෙන ඒ තැනට යන්න අවශ්‍ය වෙන්නේ නෑ. මේ තැන ආරක්ෂා කරගෙන ඒ දියුණුව දකින්න  දියුණු උනාම කිසිම ප්‍රශ්නයක් නෑ. දැන් අපේ පරම්පරාවේ අය බෝල ගහනවා.  ඒකටත් සංස්කෘතික කටයුතු ඇමතිතුමා කියලා තියෙනවා ආදිවාසින් බෝල ගහන්ඩ පටන් ගත්තම ආදිවාසී සංස්කෘතිය විනාශ වෙනවා කියලා. මම ඇමතිතුමට අද කියනවා බෝල ගැහුවම නෙවෙයි සංස්කෘතිය විනාශ වෙන්නෙ, අපේ ආදිවාසී සංස්කෘතිය විනාශ කරලා දැන් අවුරුදු 50-60ක් විතර වෙනවා. තව මේ ඉතුරුවෙලා තියෙන එකත් විනාශ කරන්ඩ තමයි මේ කතා කරන්නේ කියලා. අපේ ආදිවාසින් බෝල ගැහුවා කියලා ආදිවාසී සංස්කෘතිය විනාශවෙන්නේ නෑ කියලා මම හිතනවා. මොකද අනිත් අය බෝල ගහනවා වගේ අපේ අය බෝල ගහන්නේ නෑ. අපිට උරුම අපේ පරම්පරාවේ ගරුත්වය ආරක්ෂාවන අන්දමට තමයි ඒ ක්‍රිඩා කටයුතු කරන්නේ.  මිනිස්සු මොනවා කිව්වත් අපේ ලමයි පාසැල් ගිහින් විවිධ දේවල් ඉගෙන ගන්නවා. අපේ පරම්පරාවෙ ළමයි නැටුම් ඉගෙන ගන්නවා. සිංදු කියනවා, දුවනවා, පනිනවා, බෝල ගහනවා, මේ හැම දේම අපේ ළමයි පාසැල් වලින් තමයි පුරුදු වෙන්නේ. ඒ පුරුදු  උන දේවල් ඒයාලා ලොකුවෙලා කරා කියලා ප්‍රශ්නයක් වෙයි කියලා මම නම් හිතන්නේ නෑ. අපේ පරම්පරාව ආරක්ෂා කරගෙන අලුත් පරම්පරාව මොනවා කරත් ගැටලුවක් නෑ. කව්රු හරි ඒක වැරදි කියලා කියනවා නම් අපේ පාසලට නිතියක් ගේන්ඩ ඕන ආදිවාසී දරුවන්ට ඒවගේ දේවල් උගන්වන්න එපා කියලා. අකුරු පමණක් ලියන්න උගන්නන්න කියලා නිතියක් දානන් ඕන. පාසැලේදී ඉගෙන ගන්න දේවල් අලුත් පරම්පරාවේ අය කරනවා. මට ඒවා තහනම් කරන්න බෑ. මට තියෙන්නේ ඒ අයට මග පෙන්වන එක. මෙහෙම ගියොත් මෙහෙම වෙනවා කියලා උපදෙස් දෙන එක. අපේ පරම්පරාවේ අයට පාසැල් නොයා හේන් වගා කරලා දඩයම් කරලා ජීවත් වෙන්න කියලා මට බල කරන්න බෑ. එහෙම කියන්න තිබුනා දඩයම් කරන්න කැලයක් තිබුනානම්. කැලැවත් දැන් අපිට නෑනෙ. එහෙම එකේ මම කොහොමද  ඒ අය වලක් වන්නේ. අඩුම ගානේ කැලේට යන්න පහසුකමවත් අපිට තියෙනවා නම්. ඒ මෙනවත් නැතිව ආදිවාසී පරම්පරාව විනාශවෙනවා. ඒක ආරක්ෂා කර ගන්න ඕන කියලා බොරුවට කෑ ගහනවා. හොදයි මට කියන්න අපේ පරම්පරාව ආරක්ෂා කරගන්න මොනවාද කරලා තියෙන්නේ ?? ඒ මොනවත් නැතුව කැලැවත් තහනම් කරලා හේන්වගාවත් තහනම් කරලා පාසැල් යන එකත් තහනම් කරලා මොනවාද අපේ පරම්පරාවේ අයට කරන්න කියන්නේ. ඉතින් මේ වගේ දේවල් කට තිබ්බ පලියට කථා කරන්නේ නැතුව මොළේ කල්පනා කරලා හොදහැටි හිතලා කථා කරනවා නම් හොදයි කියලා මම කිවන්නේ.

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයෙන් පසුගිය හේනානිගල තිබුන ලෝක ආදිවාසී දින සැමරුමේ 09 වන  දින දක්වාම අපිත් එක්ක හොද සම්බන්දතාවයක් හා  සහයෝගිතාවයෙන් කටයුතු කරා. එයාලා අපිට කථා කරා. අපි එයාලාය කථා කරා. දැන්නම මට එයාලාට කථා කරන්නත් ලැජ්ජයි. වැරදි තැන කරපු කෙනාට වඩා මට තමයි ලැජ්ජහව. එදා 09 දා දක්වාම අපේ ආදිවාසී ජන උරුම කෝන්ද්‍රයට  සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයෙන් මුදල් ලබා දුන්නා. ඒත් දැන් මාස කිහිපයක්ම ඒ කියන්නේ හේනානිගල ලෝක ආදිවාසී දින එනම් 09 දවසින් පස්සෙ ඒ මුදල් තාම දිලා නෑ. මම දන්නේ නෑ එම මුදල් දෙන එක නතර කරලාද නැත්නම් පරක්කු වෙකරලා දෙන්න ඉන්නවාද කියලා. ඉස්සර නම් හොද සම්බන්දයක් අපි අතර තිබ්බා. දැන්නම් එහෙම සම්බන්ද කම් තියෙනවා කියලා මට තේරෙන්නේ නෑ. මේ අන්තිම පාරටත් මම මේ කියන්නේ ඇමතිතුමාට ඔය දෙනවා කියන වාහනය එක්ක මාව ගාවලා  කියාගෙන යන කථාව වහාම නතර කරන්න කියලා මම කියනවා.

No comments:

Post a Comment