Saturday, May 3, 2014

දකුණේ හරක්‌ මාදුරුඔය උලා කති වනජීවී සංරක්‍ෂණයට දෙවියන්ගේම පිහිටයි!

දකුණේ හරක්‌ මාදුරුඔය උලා කති වනජීවී සංරක්‍ෂණයට දෙවියන්ගේම පිහිටයි!

වන සතුන්ගේ අභය භූමි සහ ආහාර බිම් ලෙස ප්‍රකාශයට පත්තර ඇති ජාතික උද්‍යාන තුළට ගෘහස්‌ථ ගවයන් ඇතුළු කර සතුන්ගේ අයිතිය ගවයින්ට උදුරාදීම අද මෙරට වනජීවී සංරක්‍ෂණයේ ඇති වී තිබෙන බරපතළ ගැටලුවකි. (ගෘහාශ්‍රිත) ගවයින්ට උලාකන්නට තෘණපිටි නොමැතිකමින් හෝ, පහසුවෙන් ලබාගත හැකි පරිදි වනෝද්‍යාන තුළ තෘණ වැවී ඇති නිසා හෝ නීති විරෝධී ලෙස වන උයන් තුළට ගවයින් ගාල්කිරීම අද හරක්‌ පට්‌ටි හිමියන්ගේ කාර්ය භාරය වී තිබේ. නිකම්ම පා ගමනින් හෝ තුට්‌ටු දෙකේ වාහනවලින් නොව, ප්‍රාඩෝ, ඉන්ටර්කූලර්වලින් යන එන මෙම හරක්‌පට්‌ටි හිමිකරුවන් මෙසේ වනඋද්‍යාන තුළට හරක්‌ ගාල්කරන්නේ නිකම්ම නොව, එක්‌කෝ ඇතැම් බලවත් වනජීවී නිලධාරීන්ගේ උදව්වෙනි. නැතහොත් දේශපාලන හයිකාරකම් ප්‍රයෝජනයට ගනිමිනි. එසේත් නැතිනම් පැහැදිලිවම වනය, වන ජීවීන්ගේ අයිතිය රකින්නට සිටින මැති ඇමැතියන්ගේ බලපුළුවන්කාරකම මතය.
ආරම්භයේදී මෙසේ ගෘහාශ්‍රිත එළ හා මී ගවයින් උද්‍යාන තුළට නීති විරෝධීව ගාල්කිරීමේ කතාන්දරය අපට අසන්නට ලැබුණේ මොණරාගල දිස්‌ත්‍රික්‌කයට අයත් උඩවලව ජාතික උද්‍යානයෙනි. එකල අවම තරමින් උඩවලව උද්‍යානය තුළින් මෙසේ ගාල්කරන ලද ගවයින් ගණන දසදහස ඉක්‌මවා ඇති බවට වනජීවී නිලධාරීන් ගණන් බලා තිබිණි.
මෙම නීති විරෝධී කටයුතු සඳහා මැදිහත්ව සිටියේ දේශපාලන හයිකාරකම් ඇති ප්‍රදේශයේ ධනවත්, එමෙන්ම හරක්‌ වෙළෙ¹ම්වලට නම් දරා සිටි පුද්ගලයින්ය. අලින් සඳහා උද්‍යානය වටා යොදා ඇති අලිවැටේ කම්බි මෑත්කර රිටක්‌ ගසන මොවුහු තමන්ට රිසි සේ ගවයින් උද්‍යානයට ඇතුළු කරති. මෙය වනජීවී පාලනාධිකාරියට පාලනය කළ නොහැකි මාµsයාවකි. මේ හේතුව නිසා උඩවලව වනෝද්‍යානය අවට අලි - මිනිස්‌ ගැටුම උග්‍ර වූයේ අලින්ට ඇති තෘණ සම්පත් ගවයින් විසින් උලාකනු ලැබීම හේතුවෙන් මෙන්ම ගවයින් කට ගෑ තෘණ අලින් විසින් ආහාරයට ගැනීම ප්‍රතික්‍ෂේප කරන නිසාය. අද අලි - මිනිස්‌ ගැටුම ගැන කතා කරන බොහෝ දෙනා ඒ ගැන කතා නොකරති.
කෙසේ හෝ උඩවලව වනෝද්‍යානයට බලවත් හිසරදයක්‌ව පැවැති මෙම ගවයින් ඇතුළු කිරීමේ ප්‍රශ්නය ලුණුගම්වෙහෙර වනෝද්‍යානය ප්‍රකාශයට පත්කළ පසුව එයින්ද වාර්තා විය. මේ අනුව ගවයින් මගින් වනෝද්‍යානවලට සිදුවන දැවැන්ත විනාශය හා අලි - මිනිස්‌ ගැටුම උග්‍රවීම ඌව පළාතේ මොණරාගල දිස්‌ත්‍රික්‌කයට ආවේණික ප්‍රශ්නයක්‌ බවට පත්විය. ඊට හේතුව දකුණ ගව සම්පතින් අනූනවීමත් ගවයින්ට හොරාකෑමට ගව පට්‌ටි හිමියන් හා දේශපාලකයින් ඇති තරම් උදව් දීමත්ය. මේ අනුව සැබෑ ලෙසම අසරණ වූයේ මෙම වනෝද්‍යානවල දිවි ගෙවන අලි - ඇතුන් ඇතුළු තෘණ උලා කන වන සතුන්ය. මේවා වළකන්නට ගිය වනජීවී නිලධරයෝ බොහෝවිටම "පස්‌ස බිම ඇනගත්තේ" බලය හා නිලය හමුවේ ඔවුන්ද අසරණ වූ නිසාය. ඇතැම් ක්‍ෂේත්‍ර වනජීවී නිලධාරීහු හරක්‌, ජාවාරම්කරුවන්ගේ පැත්ත ගෙන "සම්තින්" එකක්‌ හොයා ගන්නටද අමතක නොකළහ.
උඩවලවින්, ලුණුගම්වෙහෙරින් වස්‌ගමුව වැනි ප්‍රධාන පෙළේ ජාතික වනෝද්‍යාන වෙතද මේ ගවයින් ගාල්කිරීමේ ප්‍රශ්නය දුරදිග ගියේය. කෙතරම් දුරදිග ගියේද කියතහොත් මෙම
වනෝද්‍යාන ත්‍රිත්වය අවටින් වාර්තාවුණු අලි - මිනිස්‌ ගැටුමේ ප්‍රබලත්වය, මියගිය මිනිසුන්ගේ සහ අලින්ගේ ප්‍රමාණය මෙම වනෝද්‍යානවලට ගවයින්ගෙන් ඇති බලපෑම ඉතා හොඳින් පසක්‌ කරවයි. සැබැවින්ම අලින් ගම් වදින්නේ ආහාර හා ජලය සොයාගෙන මිස වෙන කරුණකට නොවේ. වනෝද්‍යාන තුළ ආහාර හා ජලය ඇති පමණ තිබේ නම් අලින් ගම්වැදීමට කිසිදු හේතුවක්‌ නැත. එහෙත්, අද ප්‍රධාන වශයෙන්ම මේ සඳහා බලපා ඇති කාරණය අලින්ට කන්නට ඇති දේ ගෘහාශ්‍රිත හරකුන් විසින් බින්දුවටම උලා කෑමය.
වියළි කලාපයේ ඇතැම් වනෝද්‍යාන මේ ශාපයෙන් ගැලවී ගත්තේ ඒ ආශ්‍රිතව දේශපාලන හයිකරුවන් බවට පත් වූ ගව හිමියන් නොමැතිකම නිසාය. නැතිනම් හෝර්ටන්තැන්න වැනි ඉහළ ජෛව විවිධත්වයක්‌ ඇති වනෝද්‍යානද සුනද්දූලි වනවා නොඅනුමානය. නමුත් මේ හරක්‌ ව්‍යාපාරිකයන්ගේ "කල්ල මරේ" දමමින් තිස්‌වසරක කුරිරු යුද්ධය රජය මගින් නිරාකරණය කෙරිණි. දැන් රටේ කොයිතැනකත් නොබියව ගමන් කළ හැකිය. හරකකු දක්‌කාගෙන වුව රටේ මෙහා කොනේ සිට එහා කොන දක්‌වා ගමන් කළ හැකිය. හරක්‌ ව්‍යාපාරිකයින් කල්පනා කළේ ඒ ගැනය. දකුණේ මොණරාගල, හම්බන්තොට ගිනි කසයට වේලෙන කල හෝ තිබෙන තණපිටි ප්‍රමාණවත් නොවන කල උඩවලවෙන්, ලුණුගම්වෙහෙරින්, වස්‌ගමුවෙන් ඔබ්බට තවත් තණපිටි සොයා ගිය ඔවුන්ට අපූරු ජාතික වනෝද්‍යානයක්‌ මුණ ගැසෙයි. ඒ මාදුරුඔයයි. මාදුරුඔය වනෝද්‍යානයෙන් තුනෙන් එක්‌ පංගුවක්‌ පමණම යුද්ධයේ බලපෑමට ගොදුරුව තිබූ අතර එම ප්‍රදේශයේ තිබුණේ මිනිසුන්ට පමණක්‌ නොව ගවයින් වැනි සතුන්ටද අනාරක්‍ෂිත ප්‍රදේශයක්‌ ලෙසය. එහෙයින්ම මෙම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම පාහේ වනවැදී තිබිණි. ඒ යුද්ධය විසින් වන සම්පතේ ආරක්‍ෂාවට සිදුවු යහපත් බලපෑමකි.
හෙක්‌ටයාර් පනස්‌ අටදහසක්‌ පමණ විශාල මෙම වනෝද්‍යානයේ මාදුරුඔය ජලාශ වේල්ලට උතුරු කොටස එදා නැගෙනහිර එල්ටීටීඊ පාලනයට නතුව තිබිණි. එපමණක්‌ නොව, 1983 වසරේදී ක්‍රියාවට නැඟුණු මාදුරුඔය ජලාශ ව්‍යාපෘතියේ දකුණු ඇළ ව්‍යාපෘතිය දිගු කරන්නට රජයට හැකි වූයේද එන්. ඩී. කේ. වැව නම් උද්‍යානය තුළ ඉදිවූ ජලාශය දක්‌වා පමණෙකි. අවසානයේදී එන්. ඩී. කේ. වැව දක්‌වාවත් සිවිල් ජනතාවට ගමන් කිරීමේ හැකියාවක්‌ යුද්ධය නිමාවනතුරු උදාවූයේ නැත. මේ හේතුව නිසාම වේල්ලේ උතුරු දිග කොටස ඉතා හොඳින් නිල්ල ගසා පැතිර තිබුණේ තණපිටි හා මානා කැලෑවෙන් පෝෂණය ලබමිනි. මහා පරිමාණ ගව ව්‍යාපාරිකයන්ගේ නෙත ගැටුණේ මෙම කැලෑ ප්‍රදේශයයි. වන අලින්ගේ නිජබිමක්‌ බවට පත්ව තිබූ මෙම ප්‍රදේශය තුළදී දවසේ ඕනෑම වේලාවකදී අලි -ඇතුන් දැකගන්නට හැකිවීම සුවිශේෂත්වයක්‌ විය.
එහෙත් අද මුළු ප්‍රදේශයම උදලු ගා ඇති තත්ත්වයට පත්ව ඇති මෙම ප්‍රදේශයේ දක්‌නට ඇත්තේ එළ හා මී ගවයින් බුරුතු පිටින් උලා කනු පමණෙකි. අලියකු - ඇතකු මෙම ප්‍රදේශයේ සෙවීම කළුනික සොයනවාටත් වඩා දුෂ්කර වූ දෙයකි. මාදුරුඔය උතුරු කලාපයෙන් අද වන විට අලින් ඇතුළු වන සතුන් අතුරුදන් වී ඇත. ඒ වෙනුවට එළ හා මී ගවයින් විසිදහසකට වැඩි ප්‍රමාණයක්‌ ඇතැයි වනජිවී නිලධාරිහු පවසති. යුද්ධය පවතිද්දී හරක්‌ ගෙන් තොර වනෝද්‍යානයක්‌ වූ මාදුරුඔයට මෙසේ හරක්‌ විසිදහසකට වැඩි ප්‍රමාණයක්‌ ආවේ කෙසේද?
එය පුදුම එළවන කතාන්දරයකි. උඩවලවට, ලුණුගම්වෙහෙරට මෙන් මාදුරුඔයට ද පැමිණ ඇත්තේ දකුණේ මොණරාගල සහ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කවල ගවයින්ය. මෙහි ඇති තෘණභූමි පිළිබඳව දැනගත් දකුණේ ගව ව්‍යාපාරිකයින් හරක්‌පට්‌ටි වශයෙන් දක්‌කාගෙන මෙන්ම ලොරි රථවලින් ප්‍රවාහනය කරමින්ද මෙම ගවයින් මාදුරුඔයට රැගෙනවිත් තිබේ. එපමණක්‌ නොවේ. හරක්‌ බලන්නන් (ගොපල්ලන්) ද මෙසේ එන්. ඩී. කේ. වැව ආශ්‍රිතව සහ අලුතෙන් නවීකරණය කරන ලද මහඔය - අරලගංවිල මාර්ගය ආශ්‍රිතව (මෙම මාර්ගය දිවෙන්නේ මාදුරුඔය උද්‍යානය මැදිනි) වාඩිගසා ගවයින් බැලීමේ කටයුතු කරගෙන යන්නේ කිසිදු චකිතයකින් තොරවය. එනම්, මෙම හරක්‌ ජාවාරමට විරුද්ධව අභීතව කටයුතු කළ හිටපු උද්‍යානපාලකවරයා වනජීවී අමාත්‍යාංශයේ ඉහළම බලධරයෙකුගේ නියෝගය පරිදි මාරුකර යෑවීමෙන් අනතුරුවය. දිගින් දිගටම වැටලීම් කරමින් උද්‍යානය තුළ ගව පාලන කටයුතු කළ පුද්ගලයින් අල්ලා අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු ඉහත පුද්ගලයාගේ උදහසට ලක්‌වූ මෙම උද්‍යාන පාලකවරයා වසරක්‌ තුළදී ස්‌ථාන හතරකට දඬුවම් මාරු වශයෙන් මාරුකර යවා තිබේ. ඉන් පසු මාදුරුඔය උද්‍යානයේ ගව ජාවාරම මහත් වේගයෙන් හිස එස වූ අතර මාදුරුඔය වේල්ලට උතුරින් එන්. ඩී. කේ. වැව දක්‌වා දැවැන්ත ප්‍රදේශයක්‌ තණකොළවලින් හිස්‌ව මුඩු බිම් බවට පත්ව තිබෙනු දක්‌නට ලැබේ. මෙම මහා ව්‍යසනය තම නෙත් දෙකෙන්ම දැකගන්නා ලෙස අපි මෙරට කුමන හෝ බලධාරියකුගෙන් ඉල්ලා සිටින්නට කැමතිය. ඒ සඳහා වැඩිකල් නොයා අද හෙට එහි යාම මෙරට ජෛව විවිධත්වය අගයන, පරිසරය, නිල්ල පිරුණු දේශයක්‌ ප්‍රාර්ථනා කරන බලධාරීන්ගේ වගකීමකි.
ඉකුත්දා අපි එහි කළ නිරීක්‍ෂණ චාරිකාවකදී දැකගන්නට ලැබුණේ මෙම ප්‍රදේශවලින් අලි - ඇතුන් පලාගොස්‌ ඇති ආකාරයකි. ඒ වෙනුවට සිය දහස්‌ ගණනක ගව රංචු උද්‍යානය අරක්‌ගෙන සිටි අතර, මාදුරුඔය ජලාශය, එන්. ඩී. කේ. වැව් ඉස්‌මත්ත හරක්‌ගේ පාරාදීස බවට පත්ව තිබිණි. ගවයින් කට ගෑ තෘණ ආහාරයට නොගැනීම අලියාගේ චර්යාවකි. එසේම ගව රංචුවලට අලියා බියක්‌ද දක්‌වයි. මේ නිසා වර්තමානයේදී මාදුරුඔය අලින්, ආහාර හිඟයකින් පෙළෙන අතර ගොවීන්ගේ වගාබිම් වෙත සේන්දුවීමට පටන් ගෙන ඇත. මෙහි ප්‍රතිඵලය කිසිදා අලි - මිනිස්‌ ගැටුම් වාර්තා නොවූ මාදුරුඔයෙන් දැන් දැන් එවන් සිද්ධීන් වාර්තාවීමය. එසේම හරක්‌ රංචුවලට මැදිවී ගමන් ගන්නා ගොපල්ලන් අලින්ගේ ප්‍රහාරවලින් කදිමට ආරක්‍ෂාවී හරක්‌ දක්‌කාගෙන උද්‍යානය තුළින් ගමන් ගන්නා අයුරුද අප නිරීක්‍ෂණය කළෙමු. වර්තමානයේ මාදුරුඔය ජලාශයෙන් තම ජල අවශ්‍යතා සපුරා ගැනීමටද අලින්ට හරක්‌ හා තරගයක්‌ දීමට සිදුව තිබේ. එතරම්ම ජලාශ අද්දර හරකුන්ගේ ග්‍රහණයට නතුව ඇත. හිටපු උද්‍යාන පාලකවරයාගෙන් ඈත්ව ගිය නීති විරෝධී ගව පාලන වැටලීම් දැන් දැන් නැවත සිදුවන බවක්‌ පෙනෙන්නට තිබෙන අතර වත්මන් උද්‍යාන පාලකවරයාගේ සහ නැගෙනහිර වනජීවී සහකාර අධ්‍යක්‍ෂවරයාගේ උපදෙස්‌ පරිදි නැවත වැටලීම් ආරම්භ වී තිබේ. එහෙත්, වනජීවී අමාත්‍යාංශයේ ඉහළම පුද්ගලයින්ගේ නියෝග අනුව එම වැටලීම් නිෂ්ප්‍රභ වන අවස්‌ථාද ඇති බව අප වෙත වාර්තා වේ. වනජීවී සම්පත රකින්නට ඇති අයවලුන්ගෙන්ම මෙවන් තත්ත්වයක්‌ උදාවේනම් අපට කියන්නට ඇත්තේ "ඉබ්බා දියේ දැම්මා ම ඇන්නෑවයි" කීවාලු ලෙස ඇති පැරැණි කියමන නොවේද? හම්බන්තොට මොණරාගල හරක්‌ මෙසේ මාදුරුඔයට පැමිණ උලා කන විට මේ රටේ වනජීවී සංරක්‍ෂණයට යන කල දසාව කුමක්‌දැයි අපට අසන්නට සිදු වේ.
සටහන සහ ඡයාරූප
 ජගත් කණහැරආරච්චි


No comments:

Post a Comment