2015-12-05
ඉතිහාසයේ පටන් මේ දක්වාම තරුණියන්ට, ළදැරියන්ට, කාන්තාවන්ට අතවර කිරීමට, සාහසික ලෙස මරා දැමීම තවමත් නැවතීමක් නැත. රටම ආන්දෝලනයට පත්කළ සේයා දැරියගේ ඝාතන උණුසුම වියැකී යන්නටත් පෙර තවත් තරුණියකට ද එවැනිම ඉරණමකට මුහුණ පාන්නට සිදුවීම කෙතරම්නම් ඛේදවාචකයක් ද? පාළු මාවතකදී පැහැරගෙන ගොස් අතරවයට ලක්කර ගෙල සිර කර මරා දැමීම කොතරම් අමානුෂික ද? මෙවැනි සාහසික මානසිකත්වයක් ඇති මිනිසුන් රටේ තවත් නැතැයි කියන්නේ කෙසේ ද? එදා විද්‍යා, සේයා මෙන් ම තවත් අයට සිදුවූ ඉරණම අද අත්වූයේ විදර්ශනීටය.
ඉතිහාසයේ පටන් මේ දක්වාම තරුණියන්ට, ළදැරියන්ට, කාන්තාවන්ට අතවර කිරීමට, සාහසික ලෙස මරා දැමීම තවමත් නැවතීමක් නැත. රටම ආන්දෝලනයට පත්කළ සේයා දැරියගේ ඝාතන උණුසුම වියැකී යන්නටත් පෙර තවත් තරුණියකට ද එවැනිම ඉරණමකට මුහුණ පාන්නට සිදුවීම කෙතරම්නම් ඛේදවාචකයක් ද? පාළු මාවතකදී පැහැරගෙන ගොස් අතරවයට ලක්කර ගෙල සිර කර මරා දැමීම කොතරම් අමානුෂික ද? මෙවැනි සාහසික මානසිකත්වයක් ඇති මිනිසුන් රටේ තවත් නැතැයි කියන්නේ කෙසේ ද? එදා විද්‍යා, සේයා මෙන් ම තවත් අයට සිදුවූ ඉරණම අද අත්වූයේ විදර්ශනීටය.
ලොව කොයි කොනේ ඉපදුණත් තරුණ ගැහැනු ළමයින්ට ඒ ඒ වයසේදී එක එක බලාපොරොත්තු තියෙනවා. අගනුවරින් බොහෝ දුර බැහැර මහියංගණ නගරයේ සිට කිලෝ මීටර් විසිහයක් පමණ ගිය තැන වේවත්ත හමු වෙයි. වේවත්ත හන්දියේ සිට කිලෝ මීටර් පහක් හයක් ගිය තැන කන්නල්කුඹුර ගම්මානය හමු වෙයි. මේ ගම්මානයේ සිටි බී. එම්. රම්‍යා විදර්ශනීට ද යොවුන් වියේ නොයෙක් බලාපොරොත්තු තිබුණි.
අපොස සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලැබු විදර්ශනී ඊළඟට ඇඟිලි ගැන්නේ වයස අවුරුදු දහඅට සම්පූර්ණ වනතුරුය. ඒ මාක්ස් ආයතනයේ සේවයට යාම සඳහාය. හැඩට වැඩට අඳින්නට හිතේ හැටියට ඇඳුම් ටිකක් ගන්නත්, මෝටර් සයිකලයක් මිලට ගැනීමත් විදර්ශනීගේ බලාපොරොත්තු අතර මුලටම ගෙන තිබිණි.
කන්නල්කුඹුර ගමේ සිට දිනපතා යා යුතු මඟ දිගුය. ඒ නිසාම වයස දහඅට සම්පූර්ණ වීමෙන් පසු මහියංගණ ෂේඩ්ලයින් ඇඟලුම් ආයතනයේ සේවයට යාම සඳහා ඇය රිදිමාලියැද්ද අලුකැටියාවේ පදිංචි තම මාමාගේ නිෙවසේ නතර වීමට ගියාය. ඇය සේවයට ගොස් මාස තුනකි. ඉකුත් අඟහරුවාදා එනම් දෙසැම්බර් පළමු වැනිදා ද ඇය සුපුරුදු සේවය සඳහා පිටව ගියාය. ඒ තම ජීවිතයේ ඉරණම් දවස යැයි විදර්ශනීට නම් කිසිසේත් සිතෙන්නට නැතිවා වෙන්නට පුළුවන.
සේවය නිමා වී විදර්ශනී මාමාගේ නිවෙසට යාම සඳහා කාර්යාල ප්‍රවාහන සේවයේ ආවාය. ඇය සුපුරුදු ස්ථානයෙන් බැස්සාය. තේක්ක ගසින් පිරුණු මාවතක් ඔස්සේ ඇය මාමාගේ නිවෙසට කිලෝ මීටරයක් පමණ යා යුතු ය.
අවට පැතිර තිබූ හැන්දෑ අඳුරත් පොද වැස්සත් නිසා ඇය කුඩය ද ඉහලාගෙන තම අතේ තිබු ජංගම දුරකතනයේ එළියෙන් මහමඟ ඔස්සේ එන්නට වූවාය. අනෙක් අතේ තිබු ජංගම දුරකථනයෙන් ඈ තම හිතවතාට කතා කරමින් පැමිණියේ පුරුද්දටය. එහෙත් ඇයට වැඩිදුරක් යන්නට නොලැබිණි. දුරකථනයේ එහා කෙළවරේ කතා කරමින් සිටි තරුණයාට ඇසුණේ ඇගේ කෑගැසීම පමණි. සුපුරුදු වේලාවට විදර්ශනී ගෙදර නොආවාය. ඇගේ මාමා හා නැන්දා ඒ බව විදර්ශනීගේ මවුපියන්ට දැනුම් දුන්හ. රාත්‍රියේ ඔවුහු විදර්ශනී සොයා අවට කැලෑව පීරන්නට වූහ. එහෙත් විදුලි පන්දමේ එළිය අවසන් විය. ඔවුන්ට එදින රාත්‍රියේ සෙවිල්ල එතැනින් අවසන් කරන්නට සිදු විය.
පසු දා එනම් දෙසැම්බර් 2 දා යළිත් ගම්මු විදර්ශනී සොයන්නට වූහ. අවසානයේ ඔවුන්ට හමු වූයේ ප්‍රාණය නිරුද්ධ වූ විදර්ශනීගේ නිරුවත් මළසිරුර පමණි. එය මුලින් ම දැක තිබුණේ විදර්ශනීගේ බාල සොයුරා හා ඥාති සොහොයුරාය.
ඒ විදර්ශනීගේ කතාවේ සංක්ෂිප්තයයි. විදර්ශනීට දුර බැහැර රැකියාවකට යාමට සිදු වූයේ ඇයි? එසේ ගිය විදර්ශනීට ඇත්තටම සිදු වූයේ කුමක් ද? යනාදි ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමේ අරමුණින් අපි ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඇගේ නිවෙසට ගියෙමු.
දහවල් පිටත් වූ ගමන අවසන් වූයේ රාත්‍රියේය. අප මහියංගණයේ සිට වේවත්තටත් එතැනින් කන්නල්කුඹුරටත් යන විට රාත්‍රිය එළැඹී තිබිණි.
තේක්ක කැලෑවක් මැදින් වැටි තිබු අලුතින්ම පස් කපා ඉදිකළ මාවත බෙහෙවින් ලිස්සනසුලුය. වාහනයේ ඉදිරිපස ලයිට් එළිය හැරුණු විට වෙනත් කිසිදු ආලෝකයක් පෙනෙන මානයක නැත. විටෙක අලි ගම්වදින්නේ යැයි කියන බඩඉරිඟු හේන් යාය මැදින් ගොස් අවසානයේ අපි විදර්ශනීගේ නිවෙසට ගොඩ වීමු. ඒ වන විටත් අවට ගම්වලින් පැමිණි හිතවතුන් මෙන්ම ඇගේ ඥාතින්ගෙන් නිවෙස ඇතුළ හා ඒ අවටත් පිරී තිබිණි.
“හෙණ ගහන අපරාධ මේවා”
“ගමේ කාටවත් කරදරයක් නැති දරුවෙක්”
“අඩුවෙන් කතා කළාට හැමෝ එක්කම හිනාවෙලා හිටියා.”
“මේ අපරාධය කරපු එකාව ඇල්ලුවා ඇල්ලුවා කියලා කියනවා. ඇයි ඌව තවත් ජීවත් කරන්නේ”
තැන් තැන්වල කල්ලි ගැසි හිඳින ජනතාව එක එක අදහස් පළ කරති.
සෙනඟ පීරාගෙන ගෙට ගිය අපි විදර්ශනීගේ මව හමු වීමු.
“මට මගේ දරුවා නැති වුණා. අහිංසක දරුවා නැති වුණාට පස්සේ මොනවා කතා කළත් වැඩක් තියෙනව ද? අපි බොහෝම අමාරුවෙන් හේන් ගොවිතැන් කරලා ජීවත්වෙන අය. දුව රස්සාවට ගියාට පස්සේ අපි කාටත් පළවැනි පඩියෙන් ඇඳුම් අරගෙන දුන්නා. දුව කිය කියාම හිටියේ ‘අම්මේ මං ස්කූටියක් ගන්න ඕන’ කියලා. දුව ඉස්සෙල්ලම කොළඹ යන්න හැදුවේ. අපි අකැමැති වුණ නිසා තමයි එයා මාමලාගේ ගෙදර නතර වෙලා රස්සාවට ගියේ. අන්තිමට මගෙ දරුවා මට නැති වුණා. කාටවත් කරදරයක් නැති අහිංසක කෙල්ල...”
විදර්ශනීගේ මව වන තිස්නව හැවිරිදි ඒ. එම්. විමලාවතී හැඬු කඳුළෙන් යුතුව පවසන්නීය.
ෂේඩ්ලයින් ආයතනයේ සේවයට ගිය විදර්ශනී සති දෙකකට සැරයක් සති අන්තයේ නිවෙසට ආවාය. ඈ ටික කලක සිට ආරක්ෂක සේවයේ නියුතු තරුණයකු සමඟ හාදකමක් ද පවත්වන්නට වූවාය. ඇය අතුරුදන් වූ මොහොතේ පවුලේ අයට ඔහු පිළිබඳව ද මතකය නැඟුණි.
“මල්ලි මට කිව්වා දුව ගෙදර ආවේ නැහැ කියලා. මම ඒ කිව්ව ගමන්ම වේවත්ත හන්දියට ගියා. දුවත් එක්ක වැඩ කරන ළමයි වගයක් ඉන්නවා, මං ඇහුවා දුවව දැක්ක ද කියලා. ඒ දරුවෝ කිව්වා දුව වැඩට ඇවිත් හිටියා කියලා. අපි ඊට පස්සෙයි අලුකැටියාවට ගිහිල්ලා දුව හොයන්න පටන්ගත්තේ. පොලීසියට පැමිණිලි කළා. දුවගේ සෙරෙප්පු, කුඩේ දැක්කේ ඒ හොයන්න ගිය ගමනේදී. ඒත් එදා රෑ දුව හොයාගන්න බැරි වුණා. පහුවදා ගමේ අයත් එකතු වෙලා දුව හොයන්න පටන්ගත්තා.
ඊට පස්සේ තමයි දුවගේ සිරුර දකින්න ලැබුණේ. කිසිම තාත්තා කෙනෙකුට කවදාවත් ඒ වගේ දෙයක් දකින්න සිද්ධ කරන්න එපා. දුවට අනතුරක් වෙන්න ඇති කියලා අපිට හෝඩුවාව කිව්වේ දුව එදා ෆෝන් එකෙන් කතා කර කර හිටපු ළමයා. මං මගේ පුතාට කිව්වා නංගි ගෙදර ආවේ නැහැ කියලා. පුතා මට කිව්වා නංගි එක්ක කතා කරපු කෙනෙක්ගේ අංකය තියෙනවා එයාට කතා කරලා බලමු කියලා. ඒ දරුවා තමයි මගේ පුතාට කියලා තිබුණේ දුව ගැන හොයන්න එයාට කරදරයක් වෙන්නැති කියලා.”
අපි දන්නේ නෑ දුවගේ ආදර සම්බන්ධතාවක් තිබුණු බව. අපි බොහොම දුප්පත් මිනිස්සු. හේන් ගොවිතැන් කළා කියලා ඇති ලාබයක් නැහැ. මේ පාරත් බඩඉරිඟු හිටෙව්වා. දැන්නම් කිරි වැදෙන්න ළඟයි. අපේ දුප්පත්කම නිසයි දරුවන්ට රස්සාවල්වලට යන්න ඕනෙ වුණේ. මේ ගම්මානවල කවදාවත් මීට කලින් මෙහෙම දෙයක් වෙලා නැහැ. මට දරුවෝ හතරදෙනයි. නැති වුණේ මගේ තුන්වැනි දරුවා. කොහොම ඉවසන්න ද මේ වෙච්ච දේ.”
විදර්ශනීගේ පියා වන බී. එම්. අබේවර්ධන ඉවසාගත නොහැකි දුකින් පවසන්නේය.
ගම්මුන් ඒ අඩ අඳුරේ තැන් තැන්වල කම්මුලේ අත ගසාගෙන පවසන්නේ සිදුව ඇති ඛේදවාචකය පිළිබඳවය.
“අපේ ගම හරි දුප්පත්. පේනවනේ ගමට එන්න තියෙන අමාරුව. විදර්ශනී දූගේ මරණය නිසා තමයි, එයා වැඩ කළ කොම්පැනියෙන් පාර කපලා දුන්නේ. ඡන්ද කාලෙට හැම ලොක්කම එනවා. අරවා දෙන්නම් මේවා දෙන්නම් කියනවා. ඒත් අපිට ලැබිච්ච දෙයක් නැහැ. අන්තිමට අපේ අහිංසක දරුවෙක් කාමාතුරයෙක්ගේ ගොදුරක් වුණ එක විතරයි වුණේ. අපේ නොදියුණුකම දුප්පත්කම තමයි, මේ හැම දේටම මුල. ඔය අල්ලා ගත්තැයි කියන එකාව අපිට බාර දෙන්න. අහිංසක කෙල්ල නැතිකළ එකාට අපි පාඩමක් උගන්වන්නම් ගැහැනියක පවසන්නේ ආවේගශීලීවය. පාළු අඳුරු මූසල රාත්‍රිය කන්නල්කුඹුර ගම වසාගෙන පවතින මොහොතේ විදර්ශනී තම නිවෙසට ආවාය. ඒ සුපුරුදු පා ගමනින් නොවේ. සිහින් වැහි පොදක් වැටෙමින් තිබූ ඒ රාත්‍රියේ විදර්ශනී උපන් නිවෙසට පැමිණියේ තමා කලක් සේවය කළ රැකියා ස්ථානයේ සොහොයුරන්ගේ කර මතිනි.
අම්මා, තාත්තා, සොහොයුරු සොහොයුරියන්ගේ පමණක් නොව ඥාති හිතෛෂීන්ගේ විලාප හඬින් මුළු පෙදෙසම දෙදරා ගියේය. විදර්ශනීගේ නිසල සිරුර වරිච්චි බිත්තියෙන් තැනූ කුඩා නිවෙසේ සාලයේ තැන්පත් කෙරිණි.
“හිටපු ටික කාලේ විදර්ශනී අපිත් එක්ක හොඳ යෙහෙළියක් වෙලා හිටියා. ඇත්තටම අපිට දුකයි මේ වෙච්ච දේට.”
ධම්මික, මංජුල, ඉෂාර, ඉඳුනිල්, සමන්ත ආදි වූ ෂේඩ්ලයින් ආයතනයේ විදර්ශනීගේ යහළුවන් පවසන්නේ නෙත නැඟි කඳුළත් සමඟය.
“උලලේනියක් හැඬුවා
විපතක් ළඟ බව දැනුණා
ගොම්මන් කළුවර නැඟුණා...
මත් බඹරෙකු සැරි සැරුවා
අවිහිංසක මල් කැකුළක් තළා දැමුවා”
විපතක් ළඟ බව දැනුණා
ගොම්මන් කළුවර නැඟුණා...
මත් බඹරෙකු සැරි සැරුවා
අවිහිංසක මල් කැකුළක් තළා දැමුවා”
ඒ විදර්ශනීගේ නිවෙස ඉදිරිපස බිත්තියේ ගසා ඇති බැනරයක සඳහන් කවියකි.
ගම්මු පොලීසියටත් කලින් විදර්ශනී සොයන්නට ඉදිරිපත් වූහ. එහෙත් ඔවුන්ට පොලීසිය සමඟ ඇත්තේ නොසතුටකි.
සිද්ධිය වූ දාම පොලීසිය අපිත් එක්ක නංගි හොයන්න වෙහෙසුණා නම් සමහර විට නංගි බේරගන්න තිබුණා. නමුත් අපි නංගිගේ මිනිය හොයා ගත්තට පස්සේ පොලීසියෙන් ගමේ අපිට බැන්නේ අපි වැරැදිකාරයෝ වගේ.”
ඒ ගම්මුන් කියන දෙයයි. කවුරුන් කෙසේ කීවත් ඒ අවිහිංසකාවිය පාපතරයකුගේ ග්‍රහණයට හසුවී මියගියාය. ඈ වෙනුවෙන් කාගේ කාගෙත් නෙත්වල ඇති කඳුළු හැඟීම්බරය. ඔවුන් ආවේගශීලීය. ඒ තම දියණියට, යෙහෙළියට සොයුරියට සිදුවූ අකටයුත්ත නිසාය. ඔවුන්ගේ දුක්, සුසුම් මඟ හැර අපි එන්නට පිටත් වීමු.
ඒ එන ගමනේදී මහියංගණ රෝහලට ද ගොඩ වීමු. විදර්ශනීව පැහැරගෙන ගොස් අතවරයට ලක්කර මරා දැමුවේ යැයි කියන සැකකරු තම බිරිඳ සමඟ කැලයේ සැඟව සිට අවසානයේ ඇයට ද වස පොවා ඔහු ද වස බීමේ තවත් අපරාධයක් යට ගැසීමේ අරමුණිනි.
එනමුදු අලුකැටියාව අවට කැලය පීරමින් පොලීසිය හා ගම්මුන් එකතුව මේ දෙදෙනාව අත්අඩංගුවට ගත්තේ වස පානය කර වැඩි වේලාවක් ගත වන්නට පෙරය. සැකකරු මහියංගණය රෝහලේ හතරවැනි වාට්ටුවේ මේ ලියන මොහොතේත් ප්‍රතිකාර ලබන්නේය. සැකකරුගේ බිරිඳ යැයි කියන පහළොස් හැවිරිදි ගැහැනු ළමයා 3 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන්නීය. ඔවුන් සිටින්නේ පොලිස් ආරක්ෂාව යටතේය.
“මේ සැකකරුට පෙර වැරැදි තිබෙනවා. ඔහුට බිරියක් සහ මාස තුනක දරුවෙක් ඉන්නවා. ඒ සිටියදී තමයි ඔහු බාල වයස්කාර දැරියක සමඟ ජීවත්වන්නේ. ඒ සම්බන්ධයෙන් ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියා. දැරිය පරිවාසය මඟින් ඇගේ ආච්චි අම්මාට බාර දී තිබුණා. නමුත් ඔහු ඇප ලැබී පැමිණියාට පසු ආච්චි අම්මාට පහර දී දැරියව නැවත රැගෙන විත් තිබෙනවා. එසේ තිබියදී තමයි මේ තරුණියව පැහැරගෙන ගොස් දූෂණය කර මරා දමා තිබෙන්නේ.
ඒ පොලීසිය සොයාගෙන ඇති තොරතුරුය. මේ සිද්ධියේදී සැකකරු වැටලීමේ අවස්ථාවට සහභාගි වූ දිනමිණ ප්‍රාදේශීය වාර්තාකරු පැවසූ තොරතුරු මෙසේ ය.
ඔය සැකකරු සිද්ධිය වුණු දවසේ රෑ 7.30 ට විතර ගෙදර ඇවිත් අර ගෑනු ළමයට කියලා තියෙනවා එයා පොලීසියෙන් හොයනවා කියලා. ඊට පස්සේ කියලා ඔහු මිනිහෙක් මැරුවා කියලා. පොලීසිය මොහු ගැන සැකකරලයි තිබුණේ. ඝාතනය සිදුවූ ස්ථානයේ තිබී හමුවූ එස්ලෝන් බටයක් සවිකළ පිහිතලය හා සෙරෙප්පු දෙක සැකකරුගේ කියලා ඔහුගේ මව හා මල්ලි පිළි අරගෙන තියෙනවා. පොලීසියෙන් යද්දි තමයි මොහු පැනලා ගිහින් තියෙන්නේ. ඔහු බාල වයස්කාරිය සමඟ පාළු ගෙදරක නතර වෙලා ඉඳලා කැලැවට පැනලා යනවා කෙනෙක් දැකලා තියෙනවා. ඒ වගේම මේ සඳහා පොලිස් නිල සුනඛයා යොදවපු දවසේ ඌ ගිහින් නතර වෙලා තිබුණේ සැකකරුගේ ගෙදර.
විදර්ශනීගේ ඝාතන සිද්ධියේ සැබෑ සැකකරු මොහු නම් ඔහු නීතියට හසුවී හමාරය. ඉතින් ඈත දුර බැහැර දුෂ්කර ගම්මානවල පමණක් නොව ඉඩක් ලද ඕනෑම තැනෙක මෙවැනි අපරාධයක් සිදුවිය හැකිය. මුළු සමාජයම බලා හිඳින්නේ මේ අපරාධවලට නැවතීමේ තිතක් තැබෙන තුරුය. කඩිනමින් නීතිය විසඳී මේ අපරාධකරුවන්ට දඬුවම් නියම වනතුරු සමාජය බලා හිඳී.
එමෙන්ම තවදුරටත් තම දැරියන්, යෞවනියන් අනාරක්ෂිත නොකිරීමට, හුදෙකලා නොකිරීමට මවුපියන් දැඩි අවධානයක් යොමුකළ යුතුය. මන්ද අද විදර්ශනීට වූ දෙය හෙට මේ රටේ තවත් කොහේ කොතැනක හෝ කාටනම් විය නොහැකි යැයි විශ්වාසයක් තැබීමට බැරි නිසාය.
විශේෂ ස්තුතිය - උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී මංජුල සෙනෙවිරත්න මහතාට
ඉනෝකා සමරවික්‍රම
ඡායාරූප - සරත් පීරිස්
පසුබිම් තොරතුරු - එච්. එම්. ආර්. කරුණාවීර (මාපාකඩවැව සමූහ)
ඡායාරූප - සරත් පීරිස්
පසුබිම් තොරතුරු - එච්. එම්. ආර්. කරුණාවීර (මාපාකඩවැව සමූහ)
No comments:
Post a Comment